ads
Feature

අඩුම පිරිවැයකින් සඳට යා හැකි "ගුරුත්වාකර්ෂණ රහස් මාවත"

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
බ්‍රසීලයේ සාඕ පවුලෝ විශ්වවිද්‍යාලය සහ පෘතුගාලයේ කොයිම්බ්‍රා විශ්වවිද්‍යාලය එක්ව සිදුකළ නවතම පර්යේෂණයකින්, පෘථිවියේ සිට සඳ වෙත අවම ඉන්ධන ප්‍රමාණයකින් ළඟා විය හැකි සුවිශේෂී "ගුරුත්වාකර්ෂණ මාර්ගයක්” සොයාගෙන තිබෙනවා.

අභ්‍යවකාශ චාරිකා සඳහා අධික පිරිවැයක් දැරීමට සිදුවන බැවින් විද්‍යාඥයන් සැමවිටම උත්සාහ කරන්නේ වඩාත් කාර්යක්ෂම සහ ලාභදායී ගමන් මාර්ග සොයා ගැනීමටයි. උසස් පරිගණක ආකෘති නිර්මාණය භාවිත කරමින් සිදුකළ මෙම නව අධ්‍යයනය, 'Astrodynamics' නැමැති විද්‍යාත්මක සඟරාවේ ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙම නව ක්‍රමවේදය සඳහා "ෆන්ක්ෂනල් කනෙක්ෂන්ස් පිළිබඳ සිද්ධාන්තය" (theory of functional connections) උපයෝගී කරගෙන ඇති අතර, එමඟින් සංකීර්ණ ආකෘති ගණනය කිරීම සඳහා පරිගණකවලට වැයවන කාලය සහ ශ්‍රමය විශාල වශයෙන් අඩු කිරිමට හැකියාව පවතිනවා. 

මෙම තාක්ෂණය ඔස්සේ පර්යේෂකයන් සඳ වෙත යා හැකි විවිධ ගමන් පථ මිලියන 30ක් පමණ සමානුකරණය කර ඇති අතර, ඉන් සාර්ථක ප්‍රතිඵල පෙන්වූ ගමන් පථ 280,000ක් ඔවුන්ගේ පර්යේෂණ වාර්තාව සඳහා පාදක කරගෙන තිබෙනවා.

අභ්‍යවකාශ යානා විශ්වය හරහා ගමන් කිරීමේදී සෑමවිටම ඉන්ධන භාවිත කරන්නේ නැත. ඒ වෙනුවට ඒවා ස්වභාවික ග්‍රහලෝක සහ චන්ද්‍රයන්ගේ ගුරුත්වාකර්ෂණ බලය තල්ලුවක් ලෙස නොමිලේ ලබා ගැනීමට ප්‍රිය කරයි. අපගේ සෞරග්‍රහ මණ්ඩලය පුරාම මෙවැනි ගුරුත්වාකර්ෂණ බලපෑමෙන් නිර්මාණය වූ මාර්ග පද්ධති පවතින අතර, ඒවා "අන්තර් ග්‍රහලෝක ප්‍රවාහන ජාලය" (Interplanetary Transportation Network) ලෙස හැඳින්වේ. 

මෙම පර්යේෂණයේදී විශේෂත්වය වන්නේ, පෘථිවියට ආසන්නයෙන් ඇති සඳෙහි කක්ෂීය ගමන් පථය ඔස්සේ ඍජුවම ළඟාවීම වෙනුවට, චන්ද්‍රයාගේ විරුද්ධ පැත්ත (opposite side) හරහා ගමන් කිරීම වඩාත් ලාභදායී බව හඳුනා ගැනීමයි.

විද්‍යාඥයන් පවසන පරිදි, මෙම සැඟවුණු නව ගමන් පථය භාවිත කිරීමෙන් මීට පෙර හොඳම මාර්ගය ලෙස සැලකූ ගමන් පථයට වඩා තත්පරයට මීටර් 58.8 ක (58.80 m/s) පමණ ඉන්ධන ඉතිරියක් ලබාගත හැකියි. අභ්‍යවකාශ ක්ෂේත්‍රයේදී මෙය සුළු ප්‍රමාණයක් ලෙස පෙනුනද, එමඟින් මෙහෙයුම් සඳහා වැයවන ඩොලර් මිලියන ගණනක අතිවිශාල මුදලක් ඉතිරි කර ගැනීමට අවස්ථාව ලැබෙන බව පර්යේෂකයෝ පෙන්වා දෙනවා.

මෙම නව මාර්ගයේ ඇති තවත් සුවිශේෂී වාසියක් වන්නේ පෘථිවිය සමඟ පවතින සන්නිවේදන සබඳතා බිඳ වැටීමකින් තොරව පවත්වාගෙන යාමට හැකිවීමයි. උදාහරණයක් ලෙස, මෑතකදී ක්‍රියාත්මක වූ 'ආටෙමිස් 2' (Artemis 2) මෙහෙයුමේදී යානය සඳට පිටුපසින් සෘජුවම ගමන් කළ නිසා යම් කාලසීමාවකට පෘථිවිය සමඟ සන්නිවේදනය සම්පූර්ණයෙන්ම ඇණහිටි නමුත්, මෙම නව කක්ෂීය මාර්ගය මඟින් අඛණ්ඩ සන්නිවේදනයක් සහතික කෙරේ. 

දැනට පෘථිවියේ සහ චන්ද්‍රයාගේ ගුරුත්වාකර්ෂණය පමණක් සැලකිල්ලට ගෙන නිර්මාණය කර ඇති මෙම ආකෘතියට, ඉදිරියේදී සූර්යයාගේ ගුරුත්වාකර්ෂණ බලපෑමද ඇතුළත් කිරීමෙන් මීටත් වඩා කාර්යක්ෂම ගමන් පථ සොයාගත හැකි වනු ඇතැයි විද්‍යාඥයෝ විශ්වාස කරනවා.

0%
0%
0%
0%
Comments