මේ තත්ත්වය පාලනය කරමින්, තම රටේ දරුවන් අන්තර්ජාලය තුළ සැරිසැරීමේදී ඔවුන්ට උපරිම ආරක්ෂාව සලසා දීම සඳහා මැලේසියානු රජය විසින් සුවිශේෂී පියවරක් ගැනීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ලබන ජූනි මස 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි, දරුවන් අනිසි ලෙස අන්තර්ජාලයට නිරාවරණය වීම වැළැක්වීම සඳහා නව නීති රීති මාලාවක් හඳුන්වා දීමට මැලේසියානු සන්නිවේදන සහ බහුමාධ්‍ය කොමිෂන් සභාව කටයුතු යොදා ඇති බව නිල වශයෙන් නිවේදන කර තිබෙනවා.
මෙහි මූලිකම පියවරක් ලෙස වයස අවුරුදු 16ට අඩු දරුවන්ට ඔන්ලයින් ගිණුම් ලියාපදිංචි කිරීම සහ ඒවා පරිහරණය කිරීම සීමා කිරීමට අදාළ සේවා සපයන සමාගම්වලට නියෝග කර තිබෙනවා. මීට අමතරව එම සමාජ මාධ්‍ය ජාලා සහ අනෙකුත් අන්තර්ජාල වේදිකාවන් තුළ පළවන අන්තර්ගතයන් වඩාත් දැඩි පාලනයකට ලක් කිරීමටද නව රෙගුලාසි මඟින් උපදෙස් දී තිබෙනවා.
මැලේසියානු බලධාරීන් පෙන්වා දෙන්නේ දරුවන්ට හානිකර විය හැකි අන්තර්ජාල සූදුව, විවිධ මූල්‍ය වංචා, ළමා ලිංගික දර්ශන, සයිබර් හිරිහැර කිරීම් මෙන්ම ජාතිය, ආගම සහ රාජකීය පවුල ඉලක්ක කරගනිමින් පළවන නොහොබිනා අන්තර්ගතයන් මෑත කාලයේදී සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි. මෙම උවදුරෙන් දරුවන් මුදවා ගැනීම සඳහා අදාළ සමාජ මාධ්‍ය සමාගම් විසින් වඩාත් කාර්යක්ෂම සහ ක්‍රමවත් වාර්තාකරණ පද්ධති සකස් කළ යුතු අතර, ප්‍රචාරකයින් සත්‍යාපනය කිරීම සහ ව්‍යාජ ලෙස සකස් කළ දෘශ්‍ය හෝ ශ්‍රව්‍ය දර්ශන නිසි ලෙස හඳුනාගෙන ලේබල් කිරීමද අනිවාර්ය කර තිබෙනවා.
මෙම නව නීති රීති පද්ධතිය තම සේවාවන් වෙත සාර්ථකව බද්ධ කරගැනීම සඳහා අදාළ අන්තර්ජාල සේවා සපයන ආයතන වෙත යම් සහන කාලසීමාවක් ලබා දීමටද එරට සන්නිවේදන කොමිසම තීරණය කර තිබෙනවා.
කෙසේ වෙතත්, ලොව පුරා පවතින නව ප්‍රවණතාවන්ට ගැළපෙන පරිදි, බාලවයස්කාර දරුවන් සමාජ මාධ්‍ය භාවිත කිරීම සීමා කිරීමේ අරමුණින් පරිශීලකයින්ගේ සැබෑ වයස තහවුරු කරගැනීමේ විශේෂ ක්‍රමවේදයක් මේ වසර තුළදීම රට පුරාම ක්‍රියාවට නැංවීමට මැලේසියානු රජය මේ වන විටත් සැලසුම් කර අවසන්.