ඔබ දන්නවාද ලෝකයේ අදටත් ගලා බසින පැරණිතම ගංගාව කුමක්ද කියා? ඒ තමයි ඕස්ට්‍රේලියාවේ පිහිටි 'ෆින්ක්' (Finke River) ගංගාව. ස්වදේශික ඇරර්න්ටේ (Arrernte) භාෂාවෙන් 'ලාරාපින්ටා' ලෙස හැඳින්වෙන මෙම ගංගාව වසර මිලියන 300ක් හෝ 400ක් පමණ පැරණි බවයි විද්‍යාඥයන් පවසන්නේ. ඒ කියන්නේ මේ ගංගාව පෘථිවිය මත ඩයිනෝසරයන් බිහිවීමටත් පෙර සිටම ගලා බසින්නක්!
සැතපුම් 400කට වඩා දිගු මෙම ගංගා පද්ධතිය ඕස්ට්‍රේලියාවේ උතුරු ප්‍රදේශයේ සිට දකුණු ඕස්ට්‍රේලියාව දක්වා විහිදී යනවා. මධ්‍යම ඕස්ට්‍රේලියාවේ පවතින අධික වියළි කාලගුණය නිසා වසරේ වැඩි කාලයක් මෙය දකින්න ලැබෙන්නේ එකිනෙකට වෙන් වුණු කුඩා දිය කඩවල් පෙළක් විදිහටයි.
නමුත් අධික වර්ෂාවකදී මේ සියල්ල එකතු වෙලා ප්‍රචණ්ඩ ලෙස ගලා යන අයුරු අපූරු දසුනක්. භූ විද්‍යාත්මක වාර්තා සහ ගල්පරවල ඇති රසායනික සංයුතිය පරීක්ෂා කිරීමෙන් පසුවයි පර්යේෂකයන් තහවුරු කරගෙන තියෙන්නේ මෙය 'ඩෙවෝනියන්' හෝ 'කාබොනිෆෙරස්' යුගයට අයත් බව.
මේ ගංගාවේ ඇති සුවිශේෂීම ලක්ෂණය තමයි එය මැක්ඩොනල් කඳු පන්ති හරහා ගලා යන ආකාරය. සාමාන්‍යයෙන් ජලය ගලා යන්නේ තමන්ට හමුවන බාධක මඟහරිමින් ලෙහෙසිම මාර්ගයක වුණත්, ෆින්ක් ගංගාව ඉතාමත් තද පාෂාණ පවා කපාගෙන ඉදිරියට ගමන් කරනවා.
භූ විද්‍යාඥයන් පවසන පරිදි මෙයට හේතුව 'ඇන්ටසිඩන්ස්' (Antecedence) නම් ක්‍රියාවලියයි. එනම්, මෙම කඳු පන්ති නිර්මාණය වීමටත් පෙර සිටම ගංගාව එම ස්ථානයේ ගලා බැස තිබෙනවා. කඳු පන්ති සෙමින් උඩට එසවෙද්දී, ගංගාව දිගින් දිගටම එම පාෂාණ කපාගෙන තම ගමන් මාර්ගය පවත්වාගෙන ගොස් තිබෙනවා.
ෆින්ක් ගංගාව මෙතරම් කාලයක් නොනැසී පැවතීමට ප්‍රධානතම හේතුව ඕස්ට්‍රේලියානු මහද්වීපයේ පවතින භූ විද්‍යාත්මක ස්ථාවරත්වයයි. ලෝකයේ අනෙක් ප්‍රදේශවල මෙන් නොව, වසර මිලියන ගණනක සිට විශාල භූ චලනවලට හෝ ගිනිකඳු පිපිරීම්වලට ලක් වී නැහැ. මේ නිසා ගංගාවේ ගමන් මඟට ලොකු බාධාවක් ඇති වුණේ නැහැ.
නමුත් අනාගතය ගැන නම් තියෙන්නේ අවිනිශ්චිත තත්වයක්. දේශගුණික විපර්යාස නිසා ගොඩක් වියළි කලාප තවත් වියළි වෙමින් පවතිනවා වගේම මිනිස් අවශ්‍යතා සඳහා ජලය ලබා ගැනීම නිසා මේ පෞරාණික ගංගාවේ පැවැත්මට යම් තර්ජනයක් එල්ල වෙමින් පවතිනවා.
යම් හෙයකින් ලොව පැරණිතම ගංගාව ලෙස සැලකෙන ෆින්ක් ගංගාව සිඳී ගියහොත්, එම ස්ථානය හිමිවන්නේ ඇමරිකාවේ වර්ජිනියා ප්‍රාන්තය හරහා ගලා යන 'නිව් රිවර්' (New River) ගංගාවටයි. එය ද වසර මිලියන 300ක් පමණ පැරණි බවයි සැලකෙන්නේ.