අපේ මොළය මේ සුළු කාල පරාසයන් නිවැරදිව ගණනය කරන්නේ කෙසේද යන්න පිළිබඳව ඉතාලියේ උසස් අධ්‍යයන සඳහා වන ජාත්‍යන්තර පාසලේ (SISSA) පර්යේෂකයන් පිරිසක් මෑතකදී අතිනවීන පර්යේෂණයක් සිදු කර තිබෙනවා.
ලොව බලවත්ම MRI යන්ත්‍රයක් භාවිත කරමින් සිදු කළ මෙම අධ්‍යයනයෙන් හෙළි වී ඇත්තේ, අප දකින යමක් කොපමණ වේලාවක් පැවතුණාද යන්න තීරණය කිරීමට මොළය ප්‍රධාන පියවර තුනකින් යුත් ක්‍රියාවලියක් අනුගමනය කරන බවයි.
මෙම පර්යේෂණය සඳහා සහභාගී වූ පුද්ගලයන්ට තත්පරයකින් ඉතා කුඩා කොටසක් පමණක් දිස්වන ආලෝක ධාරාවන් පෙන්වා, ඒවා කලින් නියම කරගත් කාල සීමාවකට වඩා දිගුද නැතිනම් කෙටිද යන්න විමසා තිබෙනවා. මෙහිදී අපේ මොළයේ පිටුපස පිහිටි දෘශ්‍ය කලාපය මගින් මුලින්ම එම තොරතුරු හඳුනා ගන්නා අතර, එය 'කාලය සංකේතනය කිරීම' ලෙස හඳුන්වනවා.
ඉන්පසුව මොළයේ මැද කොටසට ආසන්න ප්‍රදේශ මගින් එම තොරතුරු කියවා ගනිමින් වර්ගීකරණය සඳහා සූදානම් කරනවා. අවසානයේදී මොළයේ ඉදිරිපස කොටස මගින් එම කාල සීමාව කෙටි එකක්ද නැතිනම් දිගු එකක්ද යන්න පිළිබඳ අවසන් තීරණය ලබා දෙන බව මෙහිදී අනාවරණය වී තිබෙනවා.
මෙම අධ්‍යයනයේ ඇති සුවිශේෂීම සොයා ගැනීම වන්නේ කාලය පිළිබඳ හැඟීම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන ආකාරයයි. අපේ මොළයේ ඉදිරිපස ඇති ඇතැම් සෛල අප විසින්ම සාදාගත් "කාල සීමාවන්" අනුව ක්‍රියා කරන බව පෙනී ගොස් තිබෙනවා. එනම්, එකම ආලෝක ධාරාව දෙස බලා සිටින දෙදෙනෙකුට එය දැනෙන ආකාරය එකිනෙකට වෙනස් විය හැකියි.
එක් අයෙකුට එය ඉතා කෙටි මොහොතක් ලෙස දැනෙන විට, තවත් අයෙකුට එය ඊට වඩා වැඩි වෙලාවක් පැවති බව දැනෙන්නට පුළුවන‍්. මෙය හුදෙක් සිතුවිල්ලක් නොව, අපේ මොළයේ ස්නායු සෛල සකස් වී ඇති ආකාරය අනුව සිදුවන සැබෑ තත්ත්වයක් බව විද්‍යාඥයන් පෙන්වා දෙනවා.
විශේෂයෙන්ම මොළයේ 'ඇන්ටීරියර් ඉන්සියුලා' (Anterior Insula) නමැති ප්‍රදේශය කාලය පිළිබඳ අපේ ආත්මීය හැඟීම ගොඩනැගීමට සෘජුවම දායක වන බව සොයාගෙන තිබෙනවා. අපේ ශරීරයට දැනෙන දේවල් සහ සිහිකල්පනාව පාලනය කරන මෙම ප්‍රදේශය, බාහිර ලෝකයේ කාලය අපට "දැනෙන" කාලය බවට පරිවර්තනය කරන මධ්‍යස්ථානය ලෙස ක්‍රියා කරනවා.
අපේ එදිනෙදා ජීවිතයේදී කාලය ගෙවී යන ආකාරය පිළිබඳව අපට ඇතිවන විවිධ හැඟීම් පිටුපස මෙවැනි සංකීර්ණ විද්‍යාත්මක ක්‍රියාවලියක් පවතින බව මෙමගින් මනාව පැහැදිලි වෙනවා. දැනට දෘශ්‍ය තොරතුරු ඇසුරින් මෙම පරීක්ෂණය සිදු කළත්, ශබ්දය වැනි අනෙකුත් සංවේදනයන් හරහා කාලය දැනෙන ආකාරය පිළිබඳව ඉදිරියේදී තවදුරටත් පර්යේෂණ සිදු කිරීමට නියමිතව තිබෙනවා.