ශ්‍රී ලංකාව සහ ඉන්දියාව වෙන් කරන අභියෝගාත්මක පෝක් සමුද්‍ර සන්ධිය තරණය කරමින් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට මේ පුංචි පිහිනුම් ශූරයා සමත් වුණේ කාගේත් හදවතට අභිමානයක් එක් කරමින්.
ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම් වෙරළ තීරයෙන් අලුයම තම ගමන ආරම්භ කළ ඉෂාන්ක්, කිලෝමීටර් 29ක පමණ දුරක් ගෙවා දමමින් ඉන්දියාවේ ධනුෂ්කොඩි දක්වා පැය 9යි මිනිත්තු 50ක් වැනි කෙටි කාලයකින් පිහිනා ගියා. රළු රළ පහර සහ මුහුදේ පවතින විවිධ අභියෝගයන්ට නොබියව මුහුණ දුන් ඔහු, මෙම දුෂ්කර මුහුදු මාර්ගය තරණය කළ ලොව ලාබාලතම පිහිනුම් ක්‍රීඩකයා ලෙස ඉතිහාස පොතට සිය නම එක් කර ගත්තා.
ඉෂාන්ක්ගේ මෙම ජයග්‍රහණය පිටුපස ඇත්තේ වචනයෙන් විස්තර කළ නොහැකි කැපවීමක්. රාන්චි හි ධුර්වා වේල්ලේ දිනකට පැය 4ක් 5ක් පුරා දැඩි පුහුණුවීම් වල නිරත වූ මේ ඉෂාන්ක්, සිය පුහුණුකරුවන් වන අමන් කුමාර් සහ බජ්රං කුමාර්ගේ මගපෙන්වීම යටතේ සැබෑ ජව සම්පන්න ක්‍රීඩකයෙකු ලෙස හැඩගැසුණා. ඔහුගේ මේ සුවිශේෂී දක්ෂතාව අගයමින් "විශ්ව වාර්තා සංසදය" විසින් ඔහුව "පෝක් සමුද්‍ර සන්ධිය තරණය කළ ලාබාලතම සහ වේගවත්ම පිහිනුම් ක්‍රීඩකයා" ලෙස නිල වශයෙන් සහතික කර තිබීමත් විශේෂත්වයක්.
රාන්චි හි DAV ශ්‍යාමලී පාසලේ 3 වන වසරේ ඉගෙනුම ලබන ඉෂාන්ක්ගේ මෙම හපන්කම මුළු පාසලටම මෙන්ම තම රටටම මහත් අභිමානයක් ගෙන දී තිබෙනවා. "නිසි මගපෙන්වීම සහ නොපසුබට උත්සාහය තිබේ නම් ඕනෑම ඉලක්කයක් ජයගත හැකියි" යන පණිවිඩය ලෝකයටම දුන් ඉෂාන්ක්, අනාගතයේදී තවත් බොහෝ ජයග්‍රහණ කරා යනු ඇතැයි අප සැවොම ප්‍රාර්ථනා කරමු.