ආලෝකාගේ කතාව ආරම්භ වන්නේ ඉන්දියාවෙනි. ආලෝකා මුලින්ම පූජ්‍ය පඤ්ඤාකර හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලාට මුණගැසෙන්නේ මීට වසර කිහිපයකට පෙර ඉන්දියාවේ කල්කටා ගුවන් තොටුපළ අසලදීය. එදා වීදි සුනඛයෙකු වූ ආලෝකා, භික්ෂූන් වහන්සේලා දින 112ක සාම පා ගමන පුරාවටම ඔවුන් පසුපස නොකඩවා ගමන් කළේය.
මේ සුනඛයාගේ තිබූ සුවිශේෂී ලැදියාව දුටු පඤ්ඤාකර හිමියන් ඔහුට "ආලෝකා" යන නම තැබීය. එහි අර්ථය වන්නේ "ආලෝකය" යන්නයි. පා ගමන අවසානයේ ඔහුව අතරමං නොකර, ආධාර උපකාර ඇතිව ඇමරිකාවට ගෙන යාමට භික්ෂූන් වහන්සේලා කටයුතු කළහ.
ඉන්දියාවේදී හමුවූ මේ සුනඛයා පසුව ඇමරිකා එක්සත් ජනපදයට රැගෙන ගිය අතර, ඔහු මේ වන විට නිල වශයෙන් ඇමරිකානු පුරවැසිකම හිමි සේවා සුනඛයෙකු ලෙස පිළිගැනේ.
මීට පෙර ඇමරිකාවේ පැවති පා ගමනකදී මෝටර් රථයක හැපී ආලෝකාගේ පාදයකට තුවාල සිදු විය. එම නිසා මෙවර ලංකාවේ පැවැත්වෙන සාම පා ගමනේදීද ඔහුගේ සෞඛ්‍යය ගැන දැඩි අවධානයක් යොමු කෙරේ.
ශ්‍රී ලංකාවට පැමිණෙන විට ආලෝකා ගුවන් යානයේ ගමන් කළේ සාමාන්‍ය සුරතලුන් මෙන් භාණ්ඩ ප්‍රවාහන අංශයේ නොව, පූජ්‍ය පඤ්ඤාකර හිමියන් අසලම වූ මගී අසුනකය.
සාම පා ගමනට සහභාගී වෙන පූජ්‍ය පඤ්ඤාකර හිමි ඇතුළු ස්වාමීන් වහන්සේලා සාමයේ සුරතලා ලෙසින් හැඳින්වෙන ”ආලෝකා” ද සමගින් අද (21 ) අලුයම ශ්‍රී ලංකාවට වැඩම කළහ.