ads
Lifestyle

සකස් කළ ආහාර සෞඛ්‍යයට මෙතරම් අහිතකර වන්නේ ඇයි?

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
ඈත අතීතයේ මිනිසා ගින්නෙන් මස් පුළුස්සා ආහාරයට ගැනීමට පටන් ගත් දා සිටම ආහාර සැකසීම හෙවත් 'Food Processing' යන සංකල්පය අප සමඟ පැවතුණා. ඇත්ත වශයෙන්ම, මුල් කාලයේදී ආහාර සැකසීම සිදු කළේ ඒවායේ රසය වැඩි කිරීමට, ජීර්ණය පහසු කිරීමට සහ දිගුකාලීන පරිභෝජනය සඳහා කල් තබා ගැනීමටයි.

උදාහරණයක් ලෙස, ධාන්‍ය ඇඹරීමෙන් පිටි සාදා ගැනීම හෝ කිරි පැසවීම මගින් යෝගට් වැනි දෑ නිපදවීම අපේ ශරීරයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ වඩාත් හොඳින් අවශෝෂණය කර ගැනීමට උපකාරී වුණා. නමුත් අද වන විට "සකස් කළ ආහාර" (Processed Foods) යන නම ඇසුණු සැණින් අපේ මතකයට එන්නේ ලුණු, සීනි සහ අධික මේදය අඩංගු සෞඛ්‍යයට අහිතකර ආහාරයි.


මේ වෙනස සිදු වුණේ කොතැනදීද? මීට වසර 250කට පෙර ලොව ප්‍රථම වරට නිපද වූ කෘතිම සිසිල් බීම වර්ග මුල් කාලයේදී වෙළඳපොළට පැමිණියේ සෞඛ්‍යයට හිතකර "ඖෂධීය පාන" ලෙසයි. පැරණි කෝලා වර්ග වැනි පාන  පවා මුලින් නිපදවුණේ ආහාර ජීර්ණයට සහ මොළයේ ක්‍රියාකාරිත්වයට රුකුල් දෙන පාන ලෙසයි. 

එහෙත් කල් යත්ම, ලොව පුරා පාරිභෝගිකයන් එකම රසයෙන් සහ එකම පෙනුමෙන් යුත් ආහාර ඉල්ලන්නට පටන් ගත්තා. මේ නිසා නිෂ්පාදකයන්ට ස්වභාවික අමුද්‍රව්‍ය වෙනුවට විද්‍යාගාර තුළ නිපදවන කෘතිම වර්ණක, රසකාරක සහ කල් තබා ගන්නා ද්‍රව්‍ය භාවිතා කිරීමට සිදු වුණා.

අද අප සුපිරි වෙළඳසැල්වල දකින "Ultra-processed" ආහාරවල ඇති ගැටලුව වන්නේ ඒවායේ ස්වභාවික ආහාර පදාර්ථ ඉතා අවම මට්ටමක පැවතීමයි. බොහෝ විට මේවා නිපදවන්නේ ස්වභාවිකව අපේ මුළුතැන්ගෙයි දකින්නට නොලැබෙන රසායනික ද්‍රව්‍ය යොදාගෙනයි. 

ආහාරයක පෝෂණය රඳා පවතින්නේ එහි අඩංගු විටමින් සහ ඛනිජ ලවණවලින් පමණක් නොවේ. ස්වභාවික ආහාරවල ඇති ප්‍රතිඔක්සිකාරක (Antioxidants) සහ ෆයිටෝකෙමිකල් (Phytochemicals) සැකසීමේ ක්‍රියාවලියේදී ඉවත් වී යනවා. පසුව කෘතිමව පෝෂ්‍ය පදාර්ථ එක් කළත්, ඒවා ස්වභාවික ආහාරවලින් ලැබෙන ගුණය ලබා දෙන්නේ නැහැ.

අද කාලයේ ආහාරවලට අධික ලෙස සීනි සහ ලුණු එක් කරන්නේ එහි පිරිවැය අඩු කිරීමට සහ ආහාරයට වැඩි පරිමාවක් ලබා දීමටයි. පලතුරුවලින් ලැබෙන ස්වභාවික පැණිරස වෙනුවට රසායනිකව නිපදවන 'High-fructose corn syrup' වැනි දෑ භාවිත කිරීම නිසා අධික ස්ථූලතාවය ඇතුළු රෝග රැසක් ඇති වෙනවා. 

එළඹෙන අනාගතයේදී අප ශාක පදනම් කරගත් ආහාර වෙත යොමු වීමේදීත්, ඒවා රසවත්ව සහ කල් තබා ගත හැකි ලෙස නිපදවීමට තව තවත් "Processing" ක්‍රම අවශ්‍ය වනු ඇති. එබැවින් අප අනුභව කරන්නේ කුමක්ද සහ එය කෙතරම් දුරට රසායනිකව වෙනස් වී ඇත්ද යන්න පිළිබඳව අවබෝධයෙන් සිටීම අපේ නිරෝගී ජීවන රටාවකට ඉතා වැදගත්.

0%
0%
0%
0%
Comments