ads
Feature

බක් මහේ අවුරුදු සිරිය රැගෙන එන කොවුල් නාදය

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය උදාවෙද්දී අපේ කන්වලට මුලින්ම ඇසෙන මිහිරිම හඬ වන්නේ කොවුල් නාදයයි. "කොහෝ කොහෝ" හඬින් පරිසරය සිසාරා ඇසෙන ඒ නාදය ශ්‍රී ලාංකික අපට අලුත් අවුරුද්ද ළඟ ළඟම එන බව දන්වන සුබ නිමිත්තක් බඳුය. වර්තමානයේ වෙළඳ දැන්වීම් සහ අලුත් අවුරුදු ගීත සඳහා කොවුල් හඬ නැතිවම බැරි අංගයක් වී තිබීමෙන්ම, මේ පක්ෂියා සහ අපේ සංස්කෘතිය අතර ඇති නොනිමි බැඳීම මැනවින් පැහැදිලි වේ.

කොවුල් හඬ පිටුපස ඇති විද්‍යාත්මක ඇත්ත

අලුත් අවුරුද්ද වෙනුවෙන් කොවුලා ගයන බව අප විශ්වාස කළද, එහි සැබෑ විද්‍යාත්මක පසුබිම මීට වඩා වෙනස්ය. විද්‍යාත්මකව Eudynamus scolpacea ලෙස හඳුන්වන ආසියානු කොවුලාගේ අභිජනන සමය යෙදෙන්නේ මාර්තු සිට මැයි දක්වා කාලය තුළයි. 

අපට ඇසෙන මෙම මිහිරි හඬ නිකුත් කරන්නේ පිරිමි කොවුලා විසින් වන අතර, එහි ප්‍රධාන අරමුණු දෙකකි. එනම්, ප්‍රජනන කාර්යය සඳහා සහකාරියක ආකර්ෂණය කර ගැනීම සහ තම වාසස්ථාන සීමාව සලකුණු කර ගැනීමයි.

කොවුලා පක්ෂි ලෝකය තුළ ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ "පරපුටු" පක්ෂියෙකු ලෙසයි.  තමන්ගේම කියා කූඩු තනන්නේ නැත. ඒ වෙනුවට කපුටන් වැනි වෙනත් පක්ෂීන්ගේ කූඩුවල බිත්තර දැමීමට කොවුලන් පුරුදු වී සිටිති. මෙහි ඇති විශේෂත්වය නම්, පිරිමි කොවුලා බාහිර පෙනුමෙන් කපුටාට තරමක් සමාන වීමයි. රතු පැහැති දෑස්, දිලිසෙන කළු පැහැය සහ සාපේක්ෂව දිගු පෙඳය මගින් පිරිමි කොවුලා හඳුනාගත හැකි වුවත්, බොහෝ දෙනා මේ දෙවර්ගය පටලවා ගනිති.

කොවුලන් අතර "ලිංගික ද්විරූපිතාවය" හෙවත් ගැහැණු සහ පිරිමි සතුන්ගේ පෙනුමේ පැහැදිලි වෙනසක් දැකිය හැකිය. පිරිමි සතා කළු පැහැති වුවද, ගැහැණු සතා දුඹුරු පැහැති ශරීරයක් පුරා සුදු සහ ලා පැහැති ඉරි හා පුල්ලිවලින් යුක්තය. මේ හේතුව නිසාම බොහෝ දෙනා ගැහැණු කොවුලා වෙනමම පක්ෂි විශේෂයක් ලෙස වරදවා වටහා ගනිති. "මල් කොහා" සහ "තිත් කොහා" යන නම්වලින් ගැහැණු සතා හැඳින්වීමට ජනතාව පෙළඹී ඇත්තේ ද මේ නිසාවෙනි.

වෙනස් වන පරිසරයත් සමඟ වෙනස් වන කොවුල් නාදය

පැරැන්නන් බක් මාසයේ උදාවත් සමඟ කොවුල් හඬ බලාපොරොත්තු වුවද, මෑතකාලීනව මෙම තත්ත්වයෙහි යම් වෙනසක් සිදුවෙමින් පවතින බව පරිසරවේදීන් පෙන්වා දෙයි. 

පෙර වසරවලට සාපේක්ෂව මේ වසරේ කොහා නාද කරන කාලසීමාවන් සහ එහි රටාවන් වෙනස් වී ඇති බව නිරීක්ෂණය වී ඇත. දේශගුණික විපර්යාස සහ පාරිසරික වෙනස්කම් මීට බලපා ඇති බව සත්වවේදීන්ගේ අදහසයි. කෙසේ වෙතත්, කොවුල් හඬින් තොර අලුත් අවුරුද්දක් ගැන සිතීම පවා ශ්‍රී ලාංකික අපට අසීරු කරුණකි.

0%
0%
0%
0%
Comments