සකල ලෝකවාසී මානව සංහතිය පාපයෙන් මුදවා ගැනීම වෙනුවෙන් ස්වකීය ජීවිතය කුරුසය මත පූජා කළ ජේසුස් වහන්සේ, මරණයෙන් තෙවන දින උත්ථානය ලැබීම කිතුනු ඇදහිල්ලේ මූලික පදනම ලෙස සැලකේ.
ජේසුස් වහන්සේගේ දුක් විඳීම, මරණය සහ උත්ථානය සිහිපත් කරමින් කිතුණුවන් විවිධ වත් පිළිවෙත් අතර ගතකළ දින 40ක චතාරික සමය ද පාස්කු ඉරිදා දිනයෙන් අවසන් වනවා.
ශුද්ධ වූ බයිබලයේ සඳහන් වන පරිදි, ජෙරුසලමේ කල්වාරි කන්දේදී කුරුසියේ ඇණ ගසා මරණයට පත් කරනු ලැබූ ජේසුස් වහන්සේ, භූමදානය කර දින තුනකට පසු උත්ථානය වී සිය අනුගාමිකයන් වෙත දර්ශනය වූ බවයි.
පාස්කු ඉරිදා දිනය සාමාන්‍යයෙන් ඉංග්‍රීසි භාෂාවෙන් හැදුන්වනුයේ Easter Sunday නමින්. නමුත් ලංකාව පමණක් නොව පෘතුගීසි, ස්පාඤ්ඤය සහ ඉතාලි පාලනයට නතුවූ බොහෝ රටවල එම සෙනසුරාදාට පසුව එළබෙන ඉරිදා හැදින්වුයේ පාස්කු (Pasku) ඉරිදා යනුවෙනි. එය හෙබ්‍රෙව්, ලතින්, ග්‍රීක භාෂාවලින් විකාශනය වුවක්.
පාස්කුව යනු මිනිසාට එතෙර වීමට දෙවියන් වහන්සේ දුන් මහානර්ඝ තිළිණය බව කිතුණු බැතිමතුන්ගේ විශ්වාසයයි.
මෙම ඓතිහාසික හා ආගමික සිදුවීම අනුස්මරණය කරමින් අද දින දිවයිනේ නන්දෙස පිහිටි දේවස්ථානවල විශේෂ දේව මෙහෙයන් සහ ආගමික වත්පිළිවෙත් පැවැත්වේ.