පසුගිය අප්‍රේල් 2 වැනිදාට යෙදුණු හනුමාන් ජයන්ති උත්සවයට සමගාමීව මෙම සිනමා නිර්මාණයේ පළමු දර්ශන පෙළ එළිදැක්වුණු අතර, එය දුටු බොහෝ දෙනෙකු පුදුමයට පත්ව සිටිනවා.
මෙම සිනමා පටය කෙරෙහි මෙතරම් අවධානයක් යොමු වීමට ප්‍රධානතම හේතුවක් වී ඇත්තේ මෙහි අති දැවැන්ත නළු නිළි පිරිසයි. රාම දෙවියන් ලෙස රන්බීර් කපූර් සිය දායකත්වය ලබා දෙන අතර, සීතා දේවිය ලෙස දකුණු ඉන්දීය සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම දක්ෂ රංගන ශිල්පිනියක වන සායි පල්ලවි රංගනයෙන් එක් වෙනවා.
ඇයගේ රංගන ප්‍රතිභාව ගැන අමුතුවෙන් කිව යුතු නැහැ. එලෙසම, කවුරුත් බලාපොරොත්තු නොවූ 'රාවණා'ගේ චරිතයට පණ පොවන්නේ කන්නඩ සිනමා තරුවක් වන යාෂ් (වීම විශේෂත්වයක්. හනුමාන් ලෙස සනී ඩියොල් සහ ලක්ෂ්මණ ලෙස රවී ඩුබේ එක්වීම හරහා චිත්‍රපටයේ කුතුහලය තවත් වැඩි කර තිබෙනවා.
මෙය සාමාන්‍ය චිත්‍රපටයකට එහා ගිය දැවැන්ත නිර්මාණයක් බව තහවුරු වන්නේ මෙහි තාක්ෂණික ශිල්පීන් දෙස බැලූ විටයි. ලෝක ප්‍රකට සංගීතවේදී හාන්ස් සිමර් (Hans Zimmer) සහ ඒ. ආර්. රහ්මාන් මෙහි සංගීතය වෙනුවෙන් එක්ව සිටිනවා.
එමෙන්ම 'Interstellar' සහ 'Dune' වැනි හොලිවුඩ් දැවැන්ත නිර්මාණවල දෘශ්‍ය ප්‍රයෝග (VFX) නිර්මාණය කළ සුප්‍රකට DNEG ස්ටූඩියෝව මෙහි වැඩකටයුතු භාරව සිටීම විශේෂත්වයක්.
කොටස් දෙකකින් තිරගත වීමට නියමිත මෙම අති දැවැන්ත සිනමා ව්‍යාපෘතිය වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි 4,000කට අධික මුදලක් වියදම් කරන බවයි වාර්තා වෙන්නේ. එළඹෙන දීපවාලී උත්සව සමයේදී තිරගත වීමට නියමිත 'රාමායණය' සිනමා සිතුවම, ඉන්දියානු සිනමාව නව මානයකට ගෙන යනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කරනවා.