
"ගොඩනගමු ශ්‍රී ලංකා" යන තේමාව පෙරදැරි කරගනිමින් සංවිධානය කර තිබූ මෙම අවස්ථාවට ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්විය. දේශයේ ස්වාධීනත්වය සහ අභිමානය විදහා දක්වමින් පැවැත්වුණු මෙම සැමරුම නැරඹීම සඳහා මැති ඇමතිවරුන්, විදේශ තානාපතිවරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වී සිටියහ.




ජාතික නිදහස් සැමරුම් පෙළපාළියේ විශේෂ අවස්ථා
නිදහස් සැමරුම් උත්සවයේ වඩාත් ආකර්ෂණීය අංගය වූයේ ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකාය එක්ව ඉදිරිපත් කළ අභිමානවත් පෙළපාළියයි. ශ්‍රී ලංකා මාතෘභූමියේ ස්වෛරීභාවය සුරැකීමට කැප වූ විරුවන්ගේ ගාම්භීරත්වය විදහා දක්වමින් පැවැත්වුණු මෙම පෙළපාළිය නරඹන්නන්ගේ විශේෂ අවධානයට ලක්විය.







නාවික හමුදාවෙන් පිරිනැමූ ආචාර වෙඩිමුර 25
78 වැනි ජාතික නිදහස් දිනයට සමගාමීව ජාතියට ගෞරව කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් විශේෂ ආචාර වෙඩිමුර පවත්වන ලදී. නාවික හමුදාධිපතිවරයාගේ සෘජු උපදෙස් හා මඟ පෙන්වීම යටතේ ගාලු මුවදොර ඉදිරිපස මුහුදේ රඳවා තිබූ "ශ්‍රී ලංකා නාවික නෞකා සයුර" නෞකාවේ සිට මෙම ආචාර වෙඩිමුර පිරිනැමුණි. මෙහිදී ජාතිය වෙනුවෙන් පිරිනමනු ලබන උපරිම ගෞරවය සංකේතවත් කරමින් වෙඩිමුර 25ක් නිකුත් කිරීම විශේෂත්වයක් විය.