ads
Feature

ජීවයේ ආරම්භය සොයා යන ගමනේ අභ්‍යවකාශයෙන් හමු වූ සක්ෂිය

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
විද්‍යාඥයින් විසින් පෘථිවියට ඔබ්බෙන් වූ අභ්‍යවකාශයේදී මෙතෙක් හමුවූ විශාලතම සල්ෆර් සහිත කාබනික අණුව සොයාගෙන ඇත. "ජීවයේ රසායනය" සඳහා අත්‍යවශ්‍ය මූලද්‍රව්‍යයක් වන සල්ෆර්, විශ්වයේ 10 වැනි වඩාත් බහුල මූලද්‍රව්‍යය වුවද, මෙතරම් විශාල අණුවක් අභ්‍යවකාශයේදී හමුවූ පළමු අවස්ථාව මෙයයි.

පෘථිවියේ ජීවීන්ගේ ඇමයිනෝ අම්ල, ප්‍රෝටීන සහ එන්සයිම සෑදීමට සල්ෆර් අත්‍යවශ්‍ය වන බැවින්, මෙම සොයාගැනීම පෘථිවියේ ජීවය හටගත් ආකාරය පිළිබඳ අභිරහස විසඳීමට ඇති "අතුරුදහන් වූ පුරුකක්" ලෙස පර්යේෂකයන් හඳුන්වයි.

අභ්‍යවකාශ දූවිලි අතර සැඟවුණු රහස

your image

ජර්මනියේ මැක්ස් ප්ලෑන්ක් ආයතනයේ විද්‍යාඥයින් විසින් හඳුනාගත් මෙම අණුව පරමාණු 13කින් සමන්විත වන අතර එය 2,5-cyclohexadiene-1-thione ලෙස හැඳින්වේ. මීට පෙර අභ්‍යවකාශයෙන් හමුවූ සල්ෆර් සහිත අණු බොහොමයක් පරමාණු 3 සිට 5 දක්වා වූ සරල ඒවා විය. 

අභ්‍යවකාශයේ විසිරී ඇති දූවිලි හා වායු වලාකුළු අතර මෙවැනි සංකීර්ණ අණු හමුවීම දුර්ලභ වන්නේ, තරු අතර පවතින කටුක පරිසරය තුළ මෙවැනි විශාල අණු බිඳී යා හැකි යැයි මීට පෙර විශ්වාස කළ බැවිනි. පෘථිවියේ සිට ආලෝක වර්ෂ 27,000ක් පමණ ඈතින්, අපගේ මන්දාකිනියේ මධ්‍යයට ආසන්නව පිහිටි 'G+0.693–0.027' නම් අණුක වලාකුළ තුළින් මෙම සොයාගැනීම සිදුකර ඇත.

your image

අණුක වලාකුළු යනු විශ්වයේ "තරු තිප්පොළවල්" ලෙස සැලකේ. අධික ගුරුත්වාකර්ෂණය හේතුවෙන් මෙම වලාකුළු තුළ පවතින වායු සහ දූවිලි එකතු වී නව තරු සහ ග්‍රහලෝක පද්ධති නිර්මාණය වේ. පර්යේෂකයන් පවසන පරිදි, මෙම වලාකුළු තුළ පවතින සංකීර්ණ රසායනික අණුවලින් කොටසක් පසුව නිර්මාණය වන ග්‍රහලෝක වෙත ගමන් කරයි. 

අතීතයේදී පෘථිවිය මතට කඩා වැටුණු උල්කාපාත සහ වල්ගාතරු හරහා මෙවැනි සල්ෆර් සහිත සංකීර්ණ අණු පෘථිවියට පැමිණෙන්නට ඇති බවත්, එමඟින් පෘථිවියේ ප්‍රාථමික ජීවීන් සඳහා අවශ්‍ය ඉන්ධන සැපයුණු බවත් විද්‍යාඥයන් අනුමාන කරයි.

your image

මෙම සොයාගැනීම පෘථිවියට පමණක් නොව, විශ්වයේ වෙනත් ග්‍රහලෝකවල ජීවය පැවතීමේ හැකියාව පිළිබඳවද සුබවාදී බලාපොරොත්තු ඇති කරයි. මන්දාකිනියේ මධ්‍යයේ මෙවැනි ජීව විද්‍යාත්මකව වැදගත් අණු පවතින්නේ නම්, එම ක්‍රියාවලියම විශ්වයේ වෙනත් ඕනෑම තැනක සිදුවිය හැකි බව විද්‍යාඥයන්ගේ මතයයි. 

සල්ෆර් යනු ඔක්සිජන්, නයිට්‍රජන් සහ කාබන් වලට වඩා සුවිශේෂී රසායනික ගුණ සහිත මූලද්‍රව්‍යයක් වන බැවින්, මෙවැනි සොයාගැනීම් හරහා විශ්වයේ ජීවය ආරම්භ විය හැකි ස්ථාන සහ එහි ව්‍යාප්තිය පිළිබඳව වඩාත් නිවැරදි අවබෝධයක් ලබා ගැනීමට මග පාදයි.

0%
0%
0%
0%
Comments