ads
Feature

ඒ.ආර්. රහ්මාන්ගේ ප්‍රකාශය නිසා බොලිවුඩය කැළඹෙයි

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
සුප්‍රකට සංගීත අධ්‍යක්ෂ ඒ.ආර්. රහ්මාන් විසින් මෑතකදී බොලිවුඩ් සිනමා ක්ෂේත්‍රය පිළිබඳව බීබීසී ඒෂියන් නෙට්වර්ක් (BBC Asian Network) සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදී කළ ප්‍රකාශයක් හේතුවෙන් ඉන්දීය සිනමා ක්ෂේත්‍රය තුළ විශාල ආන්දෝලනයක් හටගෙන තිබේ.

පසුගිය වසර අටක පමණ කාලය තුළ තමාට හින්දි සිනමා නිර්මාණ අඩුවීමට බලපෑවේ ක්ෂේත්‍රය තුළ පවතින "බල අරගල" සහ "ආගමික හෝ වාර්ගික පදනම් මත සිදුවන බෙදීම්"  බව ඔහු එහිදී ඉඟි කළේය. 

නිර්මාණාත්මක නොවන පුද්ගලයන් තීරණ ගන්නා මට්ටමට පැමිණීම නිසා දක්ෂයන් කොන් වන බව,  තමාට එරෙහිව පවතින අසත්‍ය ප්‍රචාර හේතුවෙන් බොහෝ අවස්ථාවලදී තමාට ලැබීමට තිබූ නිර්මාණ අහිමි වී ඇති බව රහ්මාන් මෙහිදී පෙන්වා දුන්නේය.

මෙම ප්‍රකාශය ප්‍රසිද්ධියට පත්වීමත් සමඟ බොලිවුඩයේ ප්‍රබල තරු දෙපිලකට බෙදී සිය අදහස් ප්‍රකාශ කිරීමට පටන් ගත්හ. ප්‍රවීණ ගී පද රචක ජාවෙඩ් අක්තාර් රහ්මාන්ගේ අදහසට සෘජුවම අභියෝග කළේය. ඔහු ප්‍රකාශ කර සිටියේ බොලිවුඩය තුළ ආගමික භේදයක් පවතින බව තමා කිසිසේත් පිළිනොගන්නා බවත්, ඉන්දියාවේ සුපිරි තරු වන ශාරුක් ඛාන්, සල්මන් ඛාන් සහ ආමීර් ඛාන් වැනි සුළු ජාතික නළුවන් දශක තුනක් තිස්සේ ඉහළින්ම වැජඹීම ඊට සාක්ෂි බවත්ය. එමෙන්ම ජනප්‍රිය ගායක ෂාන් ද සඳහන් කළේ ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා අඩුවීම සාමාන්‍ය දෙයක් බවත්, එය ආගමික හෝ දේශපාලනික කෝණයකින් දැකීම වැරදි බවත්ය.

කෙසේ වෙතත්, රහ්මාන්ගේ පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි පිරිසක්ද වූහ. ජනප්‍රිය නළු පරේෂ් රාවල් රහ්මාන්ව ඉන්දියාවේ "ගෞරවය" ලෙස හඳුන්වමින් ඔහුට සහය පළ කළේය. එමෙන්ම ගීත රචක වරුන් ග්‍රෝවර් පෙන්වා දුන්නේ, තමා විඳි අත්දැකීම් ගැන අවංකව කතා කළ රහ්මාන් වැනි කලාකරුවෙකුට මෙලෙස පහර දීම කනගාටුදායක බවයි. බොහෝ දෙනාගේ මතය වූයේ වර්තමාන බොලිවුඩය තුළ නිර්මාණාත්මක තීරණවලට වඩා ආයතනික සහ දේශපාලනික බලපෑම් වැඩි වී ඇති බවත්, රහ්මාන්ගේ ප්‍රකාශය තුළින් හෙළි වූයේ එම කටුක යථාර්ථය බවත්ය. නිළි කංගනා රනවුත් මෙම සිදුවීමට දැඩි විවේචනයක් එල්ල කළ අතර, ඇය පවසා සිටියේ රහ්මාන් සිය පෞද්ගලික මතවාදයන් වෙනුවෙන් ක්ෂේත්‍රය හෑල්ලුවට ලක් කරන බවයි.

තත්ත්වය තවදුරටත් උග්‍ර වීමත් සමඟ 2026 ජනවාරි 18 වන දින ඒ.ආර්. රහ්මාන් සිය නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා විශේෂ වීඩියෝවක් නිකුත් කළේය. එහිදී ඔහු පැහැදිලි කළේ තමාගේ ප්‍රකාශය කිසිවෙකුට රිදවීමට හෝ ක්ෂේත්‍රය පහත් කිරීමට කළ එකක් නොවන බවයි. "ඉන්දියාව යනු මගේ ආශ්වාදයයි, මගේ නිවසයි. මගේ සංගීතයේ අරමුණ සැමවිටම මිනිසුන් එක්සත් කිරීමයි" යනුවෙන් ඔහු සඳහන් කළේය. තමාට එරෙහිව එල්ල වූ විවේචන ඉවසා දරාගත් ඔහු, ඉදිරියේදී එළඹෙන 'රාමායණය' වැනි දැවැන්ත චිත්‍රපට හරහා ඉන්දීය සංස්කෘතියේ අභිමානය ලොවට පෙන්වීමට තමා කැපවී සිටින බව ප්‍රකාශ කරමින් මෙම ආන්දෝලනය සමනය කිරීමට උත්සාහ කළේය.

මෙම සිදුවීම හරහා බොලිවුඩය තුළ පවතින අභ්‍යන්තර ගැටලු සහ කලාකරුවන් මුහුණ දෙන අභියෝග පිළිබඳව පුළුල් සමාජ සාකච්ඡාවක් ඇති විය. රහ්මාන් වැනි ජාත්‍යන්තර කීර්තියක් දිනූ කලාකරුවෙකු මෙවැනි ප්‍රකාශයක් සිදු කිරීම, සිනමා ක්ෂේත්‍රයේ විනිවිදභාවය සහ සාධාරණත්වය පිළිබඳව නැවත සිතා බැලීමට කාලය එළඹ ඇති බවට සංඥාවකි.

0%
0%
0%
0%
Comments