
අධිවිභේදන චන්ද්‍රිකා තාක්ෂණය සහ නවීන ගණිතමය ක්‍රමවේද භාවිතා කරමින් නිමවන ලද මෙම සිතියම හරහා, මීට පෙර කිසිවෙකු නොදුටු කඳු පන්ති, නිම්න, සහ තැනිතලා දස දහස් ගණනක් ප්‍රථම වතාවට ලොවට අනාවරණය වී තිබේ.
මෙම සැඟවුණු ලෝකය අප දන්නා යුරෝපයට වඩා 40%ක් විශාල වන අතර, එහි ඇති භූ විෂමතාවන් අපව මවිතයට පත් කරයි. එඩින්බරෝ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පවසන පරිදි, අයිස්වලට යටින් ඇත්තේ මීට වසර මිලියන 34කට පෙර පෘථිවියේ පැවති පැරණි මහාද්වීපයක සලකුණුයි.

එදා දකුණු ඇමරිකාව හා බැඳී තිබූ මෙම භූමිය, අද වන විට ස්කොට්ලන්තයේ හෝ ස්කැන්ඩිනේවියාවේ දකින්නට ලැබෙන සුන්දර කඳුකර ප්‍රදේශවලට සමානකම් දක්වයි. අඩි 160කට වඩා උසැති කඳු ගැට 30,000කට අධික ප්‍රමාණයක් මෙහි අලුතින් හඳුනාගෙන ඇති අතර, මෙය ඇන්ටාක්ටිකාව පිළිබඳ අප මෙතෙක් දැරූ "එකම හිස් පාළුකරයක්" යන මතය මුළුමනින්ම වෙනස් කරන්නකි.
මෙම සොයාගැනීම දෘශ්‍යමය සුන්දරත්වයට පමණක් සීමා නොවේ; එය අපේ පෘථිවියේ අනාගතය තීරණය කරන ප්‍රබල සාධකයක් ද වෙයි. අයිස් තට්ටුව යට ඇති මෙම කඳු සහ රළු භූමිය, උණුසුම් වන ලෝකය හමුවේ ඇන්ටාක්ටිකාවේ අයිස් දිය වී සාගරයට ගලා යාම පාලනය කරන "තිරිංග" පද්ධතියක් ලෙස ක්‍රියා කරයි. මේ හරහා පෘථිවියේ මුහුදු මට්ටම ඉහළ යාම පිළිබඳ වඩාත් නිවැරදි අනාවැකි පළ කිරීමට විද්‍යාඥයින්ට දැන් හැකියාව ලැබී තිබේ. BBC ඇසුරිනි.

ලෝකයේ මිරිදිය ප්‍රමාණයෙන් 70%ක් දරා සිටින මේ අසිරිමත් අයිස් මහද්වීපය යට සැඟවුණු රහස්, දේශගුණික විපර්යාස හමුවේ අපේ ලෝකය ආරක්ෂා කර ගැනීමට ඉදිරියේදී මහත් පිටුවහලක් වනු නොඅනුමානයි.