ads
Feature

මිනිස් වර්ගයා යළිත් සඳ ජයගැනීමේ මාවතට: ආටෙමිස් 2 රොකට්ටුව දියත් කිරීමේ අංගනය වෙත පිවිසෙයි

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
මිනිස් ඉතිහාසයේ අභ්‍යවකාශ ගවේෂණයේ ස්වර්ණමය යුගයක් යළි උදාවෙමින් පවතී. වසර 50කට වැඩි කාලයකට පසු සඳ වෙත මිනිසුන් රැගෙන යාමේ අරමුණින් ක්‍රියාත්මක වන නාසා (NASA) ආයතනයේ "ආටෙමිස් 2" (Artemis II) මෙහෙයුම දැන් එහි තීරණාත්මක අවසාන අදියරට පැමිණ තිබේ.
මුළු ලොවම බලා සිටියදී මෙම ඓතිහාසික මෙහෙයුමට අදාළ යෝධ රොකට්ටුව දියත් කිරීමේ අංගනය
වෙත ගෙන ඒම සාර්ථකව ආරම්භ විය. මෙය හුදෙක් තාක්ෂණික පියවරක් පමණක් නොව, විශ්වය ගවේෂණය කිරීමේ මිනිසා සතු නොපසුබට උත්සාහයේ සහ අනාගත සිහිනයක යථාර්ථයක් ලෙස හැඳින්විය හැකිය.
ෆ්ලොරිඩාවේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පිහිටි වාහන එකලස් කිරීමේ දැවැන්ත ගොඩනැගිල්ලේ සිට අඩි 322 ක් උසැති අභ්‍යවකාශ දියත් කිරීමේ පද්ධතිය සහ ඔරායන් අභ්‍යවකාශ යානය පිටතට පැමිණියේ සෙනසුරාදා අලුයම 7 ට පමණය. "ක්‍රෝලර්-ට්‍රාන්ස්පෝටර් 2" නම් වූ අති දැවැන්ත රථය මත පටවා ඇති මෙම රොකට්ටුව, සැතපුම් 4 ක් දුරින් පිහිටි 39B දියත් කිරීමේ අංගනය වෙත ගමන් කිරීම ආරම්භ කරන ලදී. පැයට සැතපුමක පමණ මන්දගාමී වේගයකින් ගමන් කරන මෙම යෝධයාගේ ගමන නිම කිරීමට පැය 8 සිට 12 දක්වා කාලයක් ගතවනු ඇතැයි අපේක්ෂා කෙරේ. 

මෙම රෝල්-අවුට් ක්‍රියාවලිය නැරඹීම සඳහා ලොව පුරා මාධ්‍යවේදීන් සහ අභ්‍යවකාශ ලෝලීන් දහස් ගණනක් කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානය අවට රොක් වී සිටියහ.

ආටෙමිස් 2 මෙහෙයුම මගින් ගගනගාමීන් සිව්දෙනෙකු සඳ වටා ගොස් පෘථිවියට පැමිණීමට නියමිතය. රීඩ් වයිස්මන්, වික්ටර් ග්ලෝවර්, ක්‍රිස්ටිනා කොක් සහ ජෙරමි හැන්සන් යන මෙම ගගනගාමීන් හතර දෙනා සඳ ආසන්නයට යන නවීනතම ගවේෂකයන් පිරිස ලෙස ඉතිහාසයට එක්වනු ඇත. 

මෙය 2027 හෝ 2028 වසරවලදී සිදු කිරීමට නියමිත "ආටෙමිස් 3" මෙහෙයුම මගින් මිනිසුන් සඳ මත පය තැබීමට පෙර සිදුකරන ප්‍රධානතම පරීක්ෂණ චාරිකාවයි. 

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත්, ඉන් අනතුරුව සඳ මත ස්ථිර මිනිස් ජනාවාස පිහිටුවීම සහ අනාගතයේදී අඟහරු ලෝකය වෙත මිනිසුන් යැවීමේ මාවත විවර වනු ඇත.
රොකට්ටුව දියත් කිරීමේ මධ්‍යස්ථානයට ළඟා වූ පසු, පෙබරවාරි 2 වන දින "Wet Dress Rehearsal" නම් වූ අවසාන පෙරහුරුව සිදු කෙරේ. එහිදී රොකට්ටුවට ඉන්ධන පුරවා දියත් කිරීමට මොහොතකට පෙර දක්වා වූ සියලු කටයුතු පරීක්ෂා කරනු ලැබේ. 

නාසා ආයතනයේ සැලසුම් අනුව, සියල්ල සාර්ථක වුවහොත් 2026 පෙබරවාරි 6 වැනිදාත් 11 වැනිදාත් අතර කාලයේදී මෙම ඓතිහාසික දියත් කිරීම සිදුවනු ඇත. පෘථිවියෙන් බැහැරව සඳ වටා යන මෙම දස දින ගමන, මානව ශිෂ්ටාචාරයේ නවතම සන්ධිස්ථානයක් සනිටුහන් කරනු නොඅනුමානය.
0%
0%
0%
0%
Comments