සංගීත ක්ෂේත්‍රය ඔස්සේ කලාවට පිවිස, ඉතා කෙටි කලකින් පුංචි තිරයේ ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් ඔහු ලසිත් දසනායකයි. මේ දිනවල අතිශය ජනප්‍රිය ‘විසේකාරී’ ටෙලිනාට්‍යයේ 'ලසංග' ලෙස ඔබ හමුවට එන ලසිත්, රංගනයට පමණක් නොව වෘත්තීය ජීවිතයේද කැපී පෙනෙන චරිතයකි. Ziradaily අපි ඔහු සමඟ කළ සුහද කතාබහක් මෙලෙස පෙළගස්වන්නෙමු.

ලසිත් කොහොමද මේ දවස්වල වැඩකටයුතු ?
ඇත්තටම මේ දවස්වල ටිකක් කාර්යබහුලයි. ප්‍රධාන වශයෙන්ම ‘විසේකාරී’ ටෙලි නාට්‍යයේ රූගත කිරීම් සිද්ධ වෙනවා. ඒ වගේම මම වෘත්තියෙන් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ සහකාර රේගු අධිකාරීවරයෙක් ලෙස වැඩකටයුතු කරගෙන යනවා. ඉතින් මගේ රාජකාරී වැඩකටයුතු සහ රංගන ක්ෂේත්‍රයේ වැඩකටයුතු යන දෙකම සමබරව, ඉතාම සතුටින් කරගෙන යනවා.
ඔබ ක්ෂේත්‍රයට පිවිසියේ අහම්බයකින් කියලා අපිට ආරංචියි. ඒ අතීතය මතක් කළොත්?
ඔව්, ඒක ඇත්තටම අහම්බයක්. සංගීත වීඩියෝවක් ගැන කතා කරන්න මම ප්‍රවීණ තිර පිටපත් රචක බුද්ධික සේමසිංහ අයියාව හම්බවෙන්න කොළඹ ආවා. ඒ 2021 වසරේදී. ඒ වෙලාවේ ඔහු අධ්‍යක්ෂණය කරමින් හිටිය ‘බස් එකේ ඉස්කෝලේ’ නාට්‍යයේ වෛද්‍යවරයෙකුගේ චරිතයක් තිබුණා. ඒක තමයි මගේ ආරම්භය. ඒ චරිතයට ලැබුණු ප්‍රතිචාරත් එක්ක මට දිගටම මේ ගමන එන්න මඟ පෑදුණා.

මෙතෙක් කළ චරිත අතරින් ලසිත් වඩාත් කැමති චරිතය මොකක්ද?
අනිවාර්යයෙන්ම ‘විසේකාරී’ ටෙලි නාට්‍යයේ ලසංගගේ චරිතය. මම හිතන්නේ ලසංග කියන්නේ මගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂයයි. ප්‍රේක්ෂකයින් මට මේ තරම් ආදරය කරන්න ගත්තේ ඒ චරිතය හරහා. ඉතින් මම පෞද්ගලිකවත් වඩාත්ම කැමති ලසංගට තමයි.
ප්‍රේක්ෂක ආදරය ගැන මොකද හිතෙන්නේ?
ඒක වචනයෙන් විස්තර කරන්න බැරි තරම් ලොකු ආත්ම තෘප්තියක්. මම හිතන විදිහට කලාකරුවෙකුට ලැබෙන ලොකුම වත්කම තමයි ප්‍රේක්ෂක ආදරය. අපි පාරක යනකොට හරි කොහේදී හරි හමුවෙලා ඔවුන් අපේ රංගනය අගය කරලා, අපිත් එක්ක සෙල්ෆි ඡායාරූපයක් ගන්න එකෙන් ලැබෙන සතුට වෙන කිසිම රැකියාවකින් ලබන්න බැහැ. කොච්චර මුදල් තිබ්බත් ඒ සතුට මිලදී ගන්න බැහැ.

සිනමාවට සම්බන්ධ වෙන්න අදහසක් නැද්ද?
ඇත්තටම සිනමාවට පිවිසෙන්න ලොකු ආසාවක් තියෙනවා. මේ වන විටත් චිත්‍රපටයකට ආරාධනාවක් ලැබිලා තියෙනවා. බොහෝ දුරට මාව රිදී තිරයෙන් දැකබලා ගන්න ප්‍රේක්ෂකයින්ට අවස්ථාව ලැබේවි කියලා මම බලාපොරොත්තු වෙනවා.
මේ ගමනට ඔබට ශක්තියක් වෙන්නේ කවුද?
ඔව් මගේ බිරිඳ ඇතුළු පවුලේ සියලු දෙනා මට ලොකු ශක්තියක්. ඒ වගේම පොඩි කාලේ ඉඳන් මාත් එක්ක හිටපු යාලුවන්වත් ඉතාමත් ආදරය මතක් කරන්න ඕනේ. විශේෂයෙන්ම ‘විසේකාරී’ ටෙලිනාට්‍යයේ තිර පිටපත් රචක ලක්ෂාන්, නිෂ්පාදක ප්‍රභාත් සහ අධ්‍යක්ෂකවරයා වන කසුන් අයියාවත් ආදරයෙන් මතක් කරනවා. ඔවුන් තමයි මට ‘ලසා’ වගේ ලස්සන චරිතයක් නිර්මාණය කරලා දුන්නේ. අවසාන වශයෙන් මට ආදරය කරන මගේ රසික රසිකාවියන්ට ස්තුතිවන්ත වෙනවා, මොකද ඔවුන් නැත්නම් අපි අද මෙතන නැහැ.

ඉදිරි බලාපොරොත්තු මොනවාද?
මගේ රාජකාරී ජීවිතය සහ රංගන කටයුතු දෙකම සාර්ථකව කරගෙන යන එක තමයි ප්‍රධාන බලාපොරොත්තුව. ඒ වගේම පවුල් ජීවිතයත් සමබරව සතුටින්, සාමකාමීව කාලය ගත කරන්න බලාපොරොත්තු වෙනවා.
ලසිත් දසනායකගේ ඉදිරි කලා කටයුතුවලට Ziradaily අපෙන් උණුසුම් සුබ පැතුම්!
✍️නයනාංජලී හේවගේ