
උමාලි කොහොමද මේ දවස් වල වැඩකටයුතු?
රංගන හා ගායන කටයුතු කරගෙන යමින් තමයි ඉන්නේ.
උමාලි කියන්නේ හැමෝම දන්න විදියට නිහඬ චරිතයක්. ඇත්තටම එදිනෙදා ජීවිතයේදීත් උමාලි එහෙමද?
ඔව්. නිශ්ශබ්දතාවය මට පහසුවක්. මං ඇතුලාන්තයට වැඩි නැඹුරුවක් තියෙන පෞරුෂයක් තියෙන කෙනෙක්. හැබැයි පිරිසක් එක්ක කටයුතු කරද්දී මම මිත්රශීලීව කටයුතු කරන්න නිතර උත්සාහ කරනවා. මම සමාජශීලි වෙන්නේ, සැහැල්ලු වෙන්නේ, තෝරාගත් ළඟම පිරිසක් එක්ක පමණයි.

මෙතෙක් කළ චරිත අතරින් උමාලි වඩාත් කැමති චරිතය මොකක්ද?
නාමල් ජයසිංහ අයියා ලියපු, ශිවගුරුනාදන් මහතා අධ්‍යක්ෂණය කරපු, තුසිත අයියා කැමරාවෙන් හසු කරගත්තු "බොහීමියානුවා" ටෙලි නාට්‍යයේ "නූරි" චරිතයට.
චරිතයක් භාරගනිද්දී උමාලි වැඩිපුරම අවධානය දෙන්නේ මොනවටද?
පළවෙනියට, කතාවේ එන ඒ චරිතයේ භූමිකාවට හා චරිතයේ භාවාත්මක අභ්‍යන්තර ස්වභාවයට (මනෝවිද්‍යාත්මක පැතිකඩට). දෙවනියට, ඒ අනුව එන බාහිර ස්වරූපයට.
ඉදිරියේදී ඔබව දකින්න ලැබෙන නිර්මාණ මොනවාද?
රොහාන් පෙරේරා - සීගිරි
ඉසුරු ගුණතිලක - ශේෂ
මහේන්ද්‍ර ප්‍රසාද් මස්ඉඹුල - මැයි මාර ප්‍රසංගය
සම්පත් ශ්‍රී රෝෂන් - එමලි
මනෝ වීරසේකර / ඉන්දා වීරසේකර - චරිතාපදානය
නාමල් ජයසිංහ - හුස්ම මගේ
ආරියරත්න ඇතුගල - සිසිවන වුවන
මහේෂ් දිසානායක - නුරාමණී
සුපුන් රත්නායක - LBW (දැන් ITN සති අග 8.30ට විකාශය වේ)

ඔබට ලැබෙන ප්‍රේක්ෂක ආදරය ගැන මොකද හිතන්නේ? ඒ ආදරේ දැනෙන්නේ කොහොමද?
බොහොම ස්තූති පූර්වකව ඒ ආශිර්වාද මම පිලිගන්නවා.
මේ ක්ෂේත්රයට අලුතින් එන්න ඉන්න අයට උමාලිට දෙන්න තියෙන උපදෙස් මොනවද?
විධිමත්ව හෝ අවිධිමත්ව හෝ තමන් කරන්න තෝරගන්න විෂයය හදාරන්න, ප්‍රගුණ කරන්න. ඒකෙ කෙලවරක් නෑ. ඉවසීමෙන්, අවංකව, තමන්ගේ කලාවට පිවිසෙන්න. වගවෙන්න. තමන්ව අවබෝධ කරගන්න. වෘත්තීයට ගෞරවයෙන් සලකන්න. කෙටි ක්‍රම කොටයි, කෙටි කාලීනයි. දිග ගමනක් යන්න නම් හිත හයියට ඉන්න ඉගෙනගන්න.

ඔබේ රංගන ජීවිතය තුළ කවදාවත් අමතක නොවන රසවත් අත්දැකීමක් තිබුණොත් ඒ මොකක්ද?
ලැයිස්තුවකට අරන් නිම කරන්න බෑ... ලංකාවේ වගේම විදේශීය නිෂ්පාදනවලත් බොහෝ දේ මතකයි. සුන්දරයි වගේම කටුකයි. ඒ හැම අත්දැකීමක්ම මතක පොත පුරවලා ජීවිතය පෝෂණය කළා.
වර්තමාන ටෙලිනාට්‍ය ක්ෂේත්රය සහ උමාලි මුලින්ම රංගනයට පිවිසි කාලයේ ක්ෂේත්රය අතර දකින ප්‍රධානම වෙනස්කම් මොනවාද?
විනය හා වෘත්තීය ගරුත්වය පිරිහීම.
අනාගත සැලසුම් මොනවාද?
අදටත් හෙටටත් තියෙන එකම සැලසුම කුසලතා දියුණු කරගනිමින් තෘප්තිමත්ව ජීවත් වීම.
උමාලි තිලකරත්නගේ ඉදිරි කලා කටයුතුවලට Ziradaily අපෙන් උණුසුම් සුබ පැතුම්!
✍️නයනාංජලී හේවගේ