ලාංකීය සිනමාවට නව මුහුණුවරක් එක් කරමින්, සිනමා රසිකයන් අතර කතාබහට ලක් වූ "My Red Comrade" චිත්‍රපටය ජාත්‍යන්තර සම්මානයක් දිනා ගැනීමට සමත් වී තිබෙනවා. මෙය මෙරට සිනමාවේ තවත් එක් වැදගත් සන්ධිස්ථානයක් ලෙස හඳුන්වන්න පුළුවන්.

සුගත් මහදිවුල්වැව විසින් අධ්‍යක්ෂණය කරන ලද "My Red Comrade" චිත්‍රපටය, 7 වැනි South Asian Film, Arts and Literature (SAFAL) International Film Festival හිදී "Best Feature Film" සම්මානයෙන් පිදුම් ලැබුවා. මෙම සම්මානය චිත්‍රපටයේ නිර්මාණාත්මක විශිෂ්ටත්වය සහ වෙනස්ම ආකාරයේ කතා තේමාවට ලැබුණු විශිෂ්ට ඇගයීමක්.

මෙම චිත්‍රපටය, සාම්ප්‍රදායික සිනමා රීතීන්ගෙන් මිදුණු වෙනස්ම නිර්මාණයක්. මිනිත්තු 90ක කාලයක් පුරා දිවෙන මේ චිත්‍රපටය, එකම දර්ශන තලයක් සහ චරිත දෙකක් පමණක් යොදා ගනිමින් ප්‍රේක්ෂකයාට අලුත් අත්දැකීමක් ලබා දෙනවා.

මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා පණ පොවන්නේ ආසිරි අල්ලගේ සහ තරින්දි ප්‍රනාන්දුයි. ඔවුන්ගේ දක්ෂ රංගනය සහ සිනමාපටයේ කතාවේ ගැඹුර නිසා, මෙය මෙරට පමණක් නොව විදෙස් රටවලද අවධානය දිනාගැනීමට සමත් වුණා.

වාර්ෂිකව ඕස්ට්‍රේලියානු දකුණු ආසියානු සංසදය (ASAF) විසින් සංවිධානය කරන මෙම උළෙල, දකුණු ආසියානු කලාපයේ කතන්දර කීමේ සුවිශේෂී හැකියාව සහ විවිධත්වය ඉස්මතු කිරීමට කැපවී තිබෙනවා. මෙවර ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, පාකිස්ථානය, නේපාලය, භූතානය, ඇෆ්ගනිස්ථානය වැනි රටවල් රැසක වෘත්තාන්ත, වාර්තා සහ කෙටි චිත්‍රපට මේ සඳහා ඉදිරිපත් කෙරුණා.

මෙම සිනමා උළෙලේ සම්මාන රාත්‍රිය සැප්තැම්බර් 06 වන දා ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර කාසල් හිල් හි පිහිටි Pioneer රඟහලේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මාර්ක් හොජ්ස් (Mark Hodges) සහභාගී වූ අතර, චිත්‍රපට නිෂ්පාදකයින්, කර්මාන්ත වෘත්තිකයන් සහ උද්යෝගිමත් ප්‍රේක්ෂක පිරිසක් ද එක්ව සිටියා.