
"මම කලාවට ආදරෙයි, ඒක මගේ ජීවිතය" - මධුෂාන් හත්ලාවත්ත
Ziradaily අපි මධුෂාන් සමඟ ඔහුගේ කලා ජීවිතය, වත්මන් වැඩකටයුතු සහ අනාගත බලාපොරොත්තු ගැන කතාබහක යෙදුණා.
මධුෂාන් හත්ලාවත්ත කියන්නේ කවුද?
මධුෂාන් හත්ලාවත්ත කියන්නේ... වෘත්තීයමය රංගන ශිල්පියෙක්. ඒ වගේම ටිකක් සංකීර්ණ මනුස්සයෙක්.
මේ දවස්වල මොනවද වැඩකටයුතු?
මේ දවස්වල ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහත්මයාගේ 'පිරිමි ළමයි' නාට්‍යය සහ සමීර හසුන්ගේ 'පාරාදීසය' නාට්‍යය විකාශය වෙනවා. ඊට අමතරව, රනිල් කුලසිංහගේ 'හිත් ගලයෝ' සහ සමන් කුමාර ලියනගේ මහත්මයාගේ 'චංචල රේඛා' වගේම තවත් නාට්‍ය කිහිපයක් ඉදිරියේදී විකාශය වෙන්න නියමිතයි. මේ දවස්වල මම ටිකක් කාර්යබහුල වෙලා ඉන්නේ මේ නාට්‍යවල රංගන කටයුතු නිසා.
'පාරාදීසය' ටෙලි නාට්‍යයේ 'පුෂ්පේ' චරිතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
'පාරාදීසය' නාට්‍යයේ පුෂ්පේ කියන්නේ ප්‍රේක්ෂකයින් ඉතාම සතුටින් වැළඳගත්ත චරිතයක්. ඒ චරිතය විවිධ අවධීන් පසු කරමින්, විවිධ ස්වරූපයන්ගෙන් ඉදිරියට ගමන් කරනවා. සමාජයේ තියෙන වැරදි නිසා මුලින් දුෂ්ට චරිතයක් බවට පත් වුණත්, පසුව සමාජයට හිතකාමී වන චරිතයක් බවට පුෂ්පේ පරිවර්තනය වෙනවා. ඒ චරිතය ඉතාම සියුම්ව කළ චරිතයක්. ඒකට ප්‍රේක්ෂකයන්ගෙන් ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මේ චරිතය නිර්මාණය කළේ සමීර හසුන් විශේෂයෙන් මතක් කරන්න ඕනේ...
කලාවට සම්බන්ධ වීම ගැන මොකද හිතන්නේ?
කලාවට සම්බන්ධ වීම ගැන හරිම සතුටු වෙනවා. අපි කලාවත් එක්ක වැඩ කරනකොට සෞන්දර්යාත්මකව අපි ලොකු පරිවර්තනයකට මුහුණ දෙනවා. කලාවට ඒ සඳහා ලොකු හැකියාවක් තියෙනවා. ඒ නිසා මම ඉතාම සතුටින් කලාව කරගෙන යනවා. මගේ නිර්මාණ හොඳ මට්ටමක පවත්වාගෙන යන්න මම ගොඩක් මහන්සි වෙනවා. ඒ ගැන මට සෑහෙන්න සතුටුයි.
කලාව හැරුණුවිට ඔබ කැමති මොනවටද?
කලාව හැරුණුවිට මම ගොඩක්ම කැමති ක්‍රිකට් ගහන්න. ඒ වගේම මගේ පවුලත් එක්ක ගත කරන කාලය මට ගොඩක් වැදගත්. මට පොඩි දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මගේ බිරිඳ වෘත්තියෙන් නීතිඥවරියක්. ඉතින් ඒ අයත් එක්ක කාලය ගත කරන්න මම ගොඩක් ආසයි.
ඔබ රංගනයෙන් දායක වන අලුත්ම චිත්‍රපටයක් ගැන ආරංචියි? ඒ ගැනත් මතක් කළොත්?
ඔව්, මම මෑතකදී රංගනයෙන් දායක වුණු අලුත්ම චිත්‍රපටය තමයි මනෝ වීරසේකර අධ්‍යක්ෂණය කරන 'ලතා'. මේ චිත්‍රපටය ලංකාවේ සිටි විශිෂ්ට ගායිකාවියක් වුණු ලතා වල්පොල මහත්මියගේ ජීවිතය පදනම් කරගෙන නිර්මාණය වූවක්. මම මේ චිත්‍රපටයේ ධර්මදාස වල්පොලගේ මිතුරෙක් වන 'ආර්යදාස' කියන චරිතය තමයි කරන්නේ. අපි රූගත කිරීම් අවසන් කරලා තියෙන්නේ. මම හිතනවා ඉක්මනටම ප්‍රේක්ෂකයන්ට මේක බලන්න ලැබෙයි කියලා. රොෂාන් රවීන්ද්‍ර වැනි දක්ෂ රංගන ශිල්පීන් රැසක් මේ නිර්මාණයට දායක වෙනවා. 'ලතා' චිත්‍රපටයටත් හොඳ ප්‍රතිචාර ලැබෙයි කියලා මම හිතනවා.
ඊට අමතරව, තවත් චිත්‍රපට කිහිපයක් ඉදිරියේදී තිරගත වීමට සූදානම්. ඒ අතර චරිත් අබේසිංහගේ 'මිස්ටර් ඇන්ඩ් මිසිස්', චින්තන ධර්මදාසගේ 'අභිසාරි', මනෝ වීරසේකරගේ 'ලතා' සහ එස්. අයි. සමරක්කොඩිගේ ලංකාවේ පළවෙනි වන් ටේක් චිත්‍රපටය වන 'හෙලෝ' කියන චිත්‍රපට හතරක් නුදුරේදීම තිරගත වෙන්න තියෙනවා.
ඔබ නිර්මාණවලට දායක වෙද්දී තෝරාගැනීම් කරනවද?
මම එහෙම විශේෂයෙන්ම තෝරාගැනීම් කරන්නේ නැහැ. මම සාමාන්‍යයෙන් පිටපත සහ කතා සාරාංශය දැනගත්තට පස්සේ, මට කරන්න පුළුවන් හොඳ චරිතයක් නම්, ඒ චරිතය තුළින් මට යම් වෙනසක් කරන්න පුළුවන් නම්, මම ඒ කතාවට සාධාරණයක් කරන්න පුළුවන් නම් මම ඒ චරිතය බාර ගන්නවා. මම විවිධ බෙදීම් දාගෙන කලා නිර්මාණවලට සම්බන්ධ වෙන්නේ නැහැ. මම මෙගා නාට්‍යවලටත් වගේම කොටස් අඩු නාට්‍යවලටත් සම්බන්ධ වෙලා තියෙනවා. මට චරිතයක් තෝරාගැනීමේදී කතා තේමාව, පිටපත, අධ්‍යක්ෂකවරයා සහ නිෂ්පාදක කණ්ඩායම කියන දේවල් ගොඩක් වැදගත්. අධ්‍යක්ෂකවරයාගේ නිර්මාණශීලීත්වය සහ ඔහු මේ නිර්මාණයට කොච්චරක් සාධාරණයක් කරනවද කියන එක තමයි මට වැදගත් වෙන්නේ.
නව පරපුරේ කලාකරුවන්ට දෙන්න තියෙන උපදෙස කුමක්ද?
ඇත්තටම මට කියන්න තියෙන්නේ අද වෙනකොට ලංකාවේ තියෙන තත්ත්වයත් එක්ක විවිධ ක්ෂේත්‍රවලින් රංගන ක්ෂේත්‍රයට එන තරුණ පිරිස් ගොඩක් ඉන්නවා. ඔවුන්ට කියන්න තියෙන්නේ, කොහොම ආවත් රංගනය කියන්නේ හොඳට හදාරන්න ඕන විෂයක්. හැදෑරීමත් එක්ක ගියොත් දිගු ගමනක් යන්න පුළුවන්. ඒ වගේම ලෝකයේ වෙනත් රටවල හොඳ නිර්මාණ හොඳට නරඹලා, අපිට ගන්න පුළුවන් දේවල්, ඒකෙන් ලැබෙන ඉගෙනීම මොකක්ද කියලා බලලා ඒ ඔස්සේ ගමන් කරන්න. හොඳ විනයක් ඇතුව මේ වෘත්තිය කරගෙන යන්න අවස්ථාව ලැබුණොත්, මම හිතනවා ඕනෑම කෙනෙක්ට තමන්ගේ මහන්සිය හා කැපවීම තුළින් ඉදිරි ගමනක් යන්න පුළුවන් වෙයි කියලා.
ඉදිරි බලාපොරොත්තු මොනවද?
මගේ ඉදිරි බලාපොරොත්තු තමයි දක්ෂ රංගන ශිල්පියෙක් විදිහට ඉදිරියට යන්න. ඒ වගේම මම ගොඩක් කැමතියි ලංකාවේ සිනමාවට සම්බන්ධ වෙන්න. මම හිතනවා හොඳ නිර්මාණ කරන්න අපිට මේ දූපතෙන් මිදිලා ජාත්‍යන්තර මට්ටමට යන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසා මගේ ගොඩක්ම බලාපොරොත්තු වෙන්නේ සිනමා නිර්මාණවලට වැඩිපුර දායක වෙන්න. ඒ වගේම දැනටමත් මම චිත්‍රපටියක් රචනා කරලා තියෙනවා. ඒක අධ්‍යක්ෂණය කරන්නේ ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහත්මයා. මම හිතනවා ඒකෙත් වැඩ කටයුතු ඉදිරියේදී ආරම්භ කරන්න පුළුවන් වෙයි කියලා.
මධුෂාන් හත්ලාවත්තගේ ඉදිරි කලා කටයුතුවලට Ziradaily අපෙන් උණුසුම් සුබ පැතුම්!
✍️නයනාංජලී හේවගේ