
වේල්සයේ රෝස කුසුමේ අකල් වියැකීම සහ නොවිසඳුණු අභිරහස
ඩයනා කුමරියගේ මරණය සිදුවී අදටත් බොහෝ දෙනකුට එය කම්පනයක්. 1997 අගෝස්තු 31 වන දින ප්‍රංශයේ උමං මාර්ගයක් තුළ සිදු වූ රිය අනතුරකින් ඇය, ඇගේ පෙම්වතා වූ ඩොඩි අල් ෆයෙඩ් සහ රියදුරු හෙන්රි පෝල් ජීවිතක්ෂයට පත් වුණා. ඔවුන්ගේ ආරක්ෂකයා වූ ට්‍රෙවර් ජෝන්ස් පමණක් මේ අනතුරින් දිවි ගලවා ගත්තා. මේ අවාසනාවන්ත සිදුවීම වටා ගෙතුණු නොයෙකුත් මතභේද සහ සැකසහිත කරුණු පිළිබඳවයි මේ ලිපිය.
1961 දී බ්‍රිතාන්‍යයේ වංශවත් පවුලක උපත ලැබූ ඩයනා, 1981 දී චාල්ස් කුමරු සමඟ විවාහ වීමත් සමඟම ලෝකයේම අවධානයට ලක් වුණා. ඇය රාජකීය රාජකාරීවලට සීමා නොවී, සමාජ සේවා කටයුතුවල පුළුල් ලෙස නිරත වූ අතර, විශේෂයෙන්ම ඒඩ්ස් රෝගීන් සහ බිම් බෝම්බවලින් පීඩාවට පත් වූවන් වෙනුවෙන් ඇය කළ සේවාව අතිමහත්. ඇගේ මානුෂීය ක්‍රියාකාරකම්, රාජකීය පවුලේ සාමාජිකයන් පිළිබඳ මහජනතාවගේ ආකල්පය වෙනස් කිරීමට සමත් වුණා.
කෙසේ වෙතත්, ඇගේ පෞද්ගලික ජීවිතය එතරම් සාර්ථක වූයේ නැහැ. චාල්ස් කුමරු සමඟ වූ විවාහය දික්කසාදයකින් අවසන් වීමත්, ඉන්පසු ඇගේ ජීවිතය මාධ්‍යවලින් නොනවතින ලෙස ලුහුබැඳීමත් නිසා ඇය දැඩි මානසික පීඩනයකට ලක්ව සිටියා.
1997 අගෝස්තු 31 වන දින පැරිසියේදී සිදු වූ රිය අනතුරකින් ඇය අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගත්තා. ඩයනා කුමරියගේ මරණය, තවමත් නොවිසඳුණු අභිරහසක් ලෙස පවතින අතර, බොහෝ දෙනා එය කුමන්ත්‍රණයක් බවට විශ්වාස කරනවා. කෙසේ වෙතත්, ඇගේ කෙටි ජීවිතය තුළ ඇය ලෝකයට ඉතිරි කළ ආදරය සහ දයාව කිසිදා මැකී යන්නේ නැහැ. ඩයනා කුමරිය සැබවින්ම ජීවිතය සහ මරණය අතර ආදරය සහ අභිරහස යන දෙකම අත්විඳි අසාමාන්‍ය චරිතයක්.
මෙම අනතුර සම්බන්ධයෙන් මත දෙකක් පවතිනවා. සමහරු එය හුදෙක් රිය අනතුරක් ලෙස සලකන අතර, තවත් පිරිසක් එය සැලසුම් සහගත ඝාතනයක් බව විශ්වාස කරනවා. මේ සැකයට තුඩු දුන් කරුණු කිහිපයක්.
ඩයනා කුමරියගේ ප්‍රධාන මෙහෙකරුවා වූ පෝල් බුරෙල්ට ඇය 1993 ඔක්තෝබර් මාසයේදී ලියූ ලිපියක් මඟින්, "මගේ සැමියා විසින් මාව මගේ වාහනය තුළදීම ඝාතනයට සැලසුම් කරනවා" යැයි සඳහන් කර තිබුණා. ඇය චාල්ස් කුමරුගෙන් වෙන් වී මාස 10කට පමණ පසු මෙම ලිපිය හෙළිදරව් වුණා. මෙම ලිපිය ඝාතන කුමන්ත්‍රණයක් පිළිබඳව තිබෙන ප්‍රබලතම සාක්ෂියක් ලෙස සැලකෙනවා. කෙසේ වෙතත්, ඩයනාගේ සමීපතම මිතුරියක් පැවසුවේ ඇය තම ආරක්ෂාව ගැන කිසිදු බියක් නොදැක්වූ බවයි. තවත් මිතුරියක් වන ලුසියා ෆ්ලෙචර් පැවසුවේ, පෝල් බුරෙල් ඩයනාගේ අත් අකුරු අනුකරණය කිරීමට දක්ෂ බවත්, ඒ නිසා මෙම ලිපිය විශ්වාස කළ නොහැකි බවත්ය.
ඩොඩි අල් ෆයෙඩ්ගේ පියා වන මොහොමඩ් අල් ෆයෙඩ්, තම පුතාගේ සහ ඩයනාගේ මරණයෙන් මාසයකට පසු මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ මෙය සැලසුම් සහගත ඝාතනයක් බවයි. ඔහු කියා සිටියේ පිලිප් කුමරුගේ අනුදැනුම මත එක්සත් රාජධානියේ M16 විදේශ බුද්ධි අංශය මෙය සිදු කළ බවයි. කුමරිය මුස්ලිම් ජාතිකයෙකු සමඟ විවාහ වීමට විරුද්ධව මෙම ඝාතනය සිදුකළ බව ඔහු තවදුරටත් කියා සිටියා..
මෙහිදී ඔහු රියදුරු හෙන්රි පෝල්ට රහස් සේවාවන් විසින් මුදල් ගෙවූ බවට චෝදනා කළා. නමුත් පොලිස් පරීක්ෂණවලින් පසුව හෙළි වූයේ මෙම මුදල් ඔහුට රහස් සේවා වලින් නොලැබුණු බවයි. කෙසේ වෙතත්, අනතුර සිදුවන විට රියදුරු මත්පැන් පානය කර සිටි බවත්, ඔහුගේ රුධිරයේ ඉහළ කාබන් මොනොක්සයිඩ් ප්‍රමාණයක් තිබූ බවත් සොයා ගැනුණා.
අනතුරින් පසු ඩයනා කුමරියව වාහනයෙන් පිටතට ගැනීමට විනාඩි 37ක් ගතවී තිබෙනවා. රෝහලට රැගෙන යාමට ගිලන් රථයක් පැමිණ ඇත්තේ මිනිත්තු 81කට පසුවයි. විශේෂඥයන් පසුව ප්‍රකාශ කළේ ඇයව අනතුර සිදුවූ වහාම රෝහල් ගත කළා නම් ඇගේ ජීවිතය බේරා ගැනීමට ඉඩක් තිබූ බවයි. තවද, ඇය රැගත් ගිලන් රථය පැයට කිලෝමීටර් 19ක පමණ ඉතා අඩු වේගයකින් ගමන් කර තිබුණා. ඊට හේතුව ලෙස සඳහන් වූයේ ගමන අතරතුර ඇයට ප්‍රතිකාර කිරීම සඳහා එසේ සෙමින් ගමන් කළ බවයි.
අනතුර සිදුවී පැය කිහිපයක් යන්නට මත්තෙන් උමං මාර්ගය පිරිසුදු කර නැවත මහජනයාට විවෘත කර තිබුණා. පරීක්ෂකයන් පැවසුවේ පරීක්ෂණයට අවශ්‍ය සියලු තොරතුරු රැස් කරගත් නිසා එසේ කළ බවයි. නමුත් බොහෝ දෙනා පවසන්නේ මේ නිසා පරීක්ෂණ කටයුතු නිසි පරිදි සිදු නොවූ බවයි.
මේ සියලු කරුණු විමසන විට ඩයනා කුමරියගේ මරණය වටා ඇති අභිරහස තවමත් මුළුමනින්ම විසඳී නැති බව පැහැදිලියි. අදටත්, ඇගේ මරණය හුදු අනතුරක්ද, නැතහොත් බලවත් කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්ද යන්න පිළිබඳව ලෝකය තුළ විවිධ මත පවතිනවා. මෙම අභිරහස් තොරතුරු අනාගතයේදී හෝ හෙළිදරව් වේවිද යන්න පිළිබඳව තවමත් කිසිවකුට නිශ්චිතව කිව නොහැකියි.
NDTV ඇසුරිනි