‘Orionids’ උල්කාපාත වර්ෂාව මේ දිනවල ශ්රී ලාංකිකයින්ට ද රාත්රී අහසේ නිරීක්ෂණය කිරීමේ අවස්ථාව උදාවන බව මොරටුව ආතර් සී. ක්ලාක් මධ්යස්ථානය පවසනවා.
සුප්රකට හැලීගේ ධූමකේතුව (Halley’s Comet) සෞරග්රහ මණ්ඩලය හරහා ගමන් කිරීමේදී ඉතිරි කර යන දූවිලි හා කුඩා පාෂාණ අංශු පෘථිවි වායුගෝලයට ඇතුළු වී දැවී යාමෙන් මෙම සුන්දර උල්කාපාත වර්ෂාව නිර්මාණය වනවා.
තත්පරයට කිලෝමීටර් 66ක පමණ වේගයකින් වායුගෝලයට ඇතුළු වන මෙම අංශු අහසේ වේගයෙන් ඇදී යන දීප්තිමත් ආලෝක ධාරා ලෙස දැකගත හැකියි.
මෙම මස 21 සහ 22 යන දිනවලදී මෙම උල්කාපාත වර්ෂාව වඩාත් හොඳින් නිරීක්ෂණය කළ හැකි බවයි එම මධ්යස්ථානය සඳහන් කරන්නේ. පැහැදිලි අහසක් පවතින රාත්රියක මධ්යම රාත්රියෙන් පසු, විශේෂයෙන් අලුයම් කාලයට ආසන්නව මෙම උල්කාපාත වර්ෂාව වඩාත් හොඳින් නිරීක්ෂණය කළ හැකියි.
මේ සඳහා කිසිදු විශේෂ දුරේක්ෂයක් හෝ වෙනත් උපකරණ අවශ්ය වන්නේ නැහැ. කිසිදු බාධාවකින් තොරව පියවි ඇසින්ම අහස දෙස බලා මෙම අපූරු ස්වභාවික අරුමය අත්විඳින්නට ඔබටත් පුළුවන්.