2026 ඇකඩමි කෞතුකාගාරයේ උත්කර්ෂවත් රාත්රිය (Academy Museum Gala) මේ වන විට ලොස් ඇන්ජලීස් නුවරදී අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙනවා. හයවැනි වරටත් සංවිධානය කෙරෙන මෙම අතිවිශේෂ උත්සවය, ලොව පුරා සිනමා සහ විලාසිතා රසිකයන්ගේ දැඩි අවධානය දිනාගත් තරු පිරුණු මනරම් රාත්රියක් බවට පත්ව තිබෙනවා.
ලොස් ඇන්ජලීස්හි සුප්රකට මිරකල් මයිල් ප්රදේශයේ පිහිටි ඇකඩමි චලන චිත්ර කෞතුකාගාරය මෙම උත්සවයේ කේන්ද්රස්ථානය බවට පත්ව තිබෙන අතර, සිනමාවේ අතිශය කලාත්මක උරුමය සහ අලංකාරය සැමරීම සඳහා ප්රමුඛ පෙළේ හොලිවුඩ් කලාකරුවන් රැසක් මෙහි එක්ව සිටිනවා.
මෙවර පැවැත්වෙන උත්සවයේ සම සභාපතිවරුන් ලෙස සුප්රකට සිනමා නිර්මාණකරු රොබට් රොඩ්රිගස්, හොලිවුඩයේ දැවැන්ත සංකේතයක් වන ස්ටීවන් ස්පීල්බර්ග් සහ කේට් කැප්ෂෝ කටයුතු කරනු ලබනවා. එමෙන්ම සෙත් රොජන්, ලෝරන් මිලර් රොජන්, ටෙයානා ටේලර්, ජෙසිකා ඇල්බා, ජඩ් ඇපටෝව්, ලෙස්ලි මෑන්, ඒඩ්රියන් බ්රෝඩි, ජෝන් එම්. චූ, කිර්ස්ටන් ඩන්ස්ට්, නිකලස් ගැලිට්සීන්, රෙජිනා හෝල්, කේට් හඩ්සන්, ජෙසිකා ලැන්ජ්, රාමි මලෙක්, ඩෙමී මුවර්, ඔලිවියා මන් සහ ඩා’වයින් ජෝයි රැන්ඩොල්ෆ් ඇතුළු ජනප්රිය තරු රැසක් ද මෙවර උත්සවයේ සත්කාරක කමිටුව නියෝජනය කරමින් රාත්රිය තවත් අලංකාර කිරීමට එක්ව තිබෙනවා.
මෙම අභිමානවත් රාත්රියේ ප්රධානතම සහ විශේෂිතම අංගයක් වන්නේ සිනමා ක්ෂේත්රයට අසමසම දායකත්වයක් ලබාදුන් ප්රබල කලාකරුවන් තිදෙනකු ඇගයීමට ලක් කිරීමයි. ඒ අනුව, ජනප්රිය සිනමා නිර්මාණකරු ජෝන් කාපෙන්ටර් වෙත Luminary Award සම්මානයත්, සිනමා ලෝකයේ ආකර්ෂණීය රංගන ශිල්පිනී චාලීස් තෙරෝන් වෙත Icon Award සම්මානයත් පිරිනැමීමට නියමිතව තිබෙනවා.
ඊට අමතරව, ප්රවීණ රංගන ශිල්පී කොල්මන් ඩොමින්ගෝ Vantage Award සම්මානයෙන් පිදුම් ලැබීමට නියමිත අතර, මෙම සම්මාන මඟින් සිනමාවේ විවිධ පැතිකඩ නියෝජනය කරන විශිෂ්ටයන්ගේ නිර්මාණාත්මක ගමන්මඟ ඇගයීමට ලක් කෙරෙනවා.
මෙවර උත්සවයේදී වැඩිම ආකර්ෂණයක් සහ කතාබහක් නිර්මාණය කර තිබෙන තවත් සුවිශේෂී චරිතයක් වන්නේ ලොව පුරා අතිවිශාල රසික පිරිසකගේ ආදරය දිනාගත් ගෝලීය සංගීත තාරකාව වන ටේලර් ස්විෆ්ට් ය. ඇය මෙම උත්සවයට සහභාගී වීමට අමතරව විශේෂිත සංගීත ප්රසංගයක් ද පැවැත්වීමට නියමිතව තිබීම කාගේත් කුතුහලයට හේතුවී තිබෙනවා.
හොලිවුඩ් සිනමා ලෝකයේ සුපිරි තරු අතරට සංගීත ක්ෂේත්රයේ ප්රමුඛතම නාමයක් එක්වීමත් සමඟ, මෙම රාත්රිය සිනමාව සහ සංගීතය එකට මුසු වන අමතක නොවන සුන්දර කලාත්මක අත්දැකීමක් බවට පත්ව තිබෙනවා.
මියා ගොත්, පැමෙලා ඇන්ඩර්සන්, ජෝන් ලෙගුයිසාමෝ, කේලී ස්පේනි, කෝල් එස්කෝලා, නයෝමි ඇකී, කරි බාර්කර්, ඉන්ඩේ නවරෙට්, මයිකල් ජොන්ස්ටන්, ඇනා කෙන්ඩ්රික් සහ බ්රිටනි ස්නෝ ඇතුළු තවත් ක්ෂේත්රයේ ජනප්රිය චරිත රැසක්ම සිය මනරම් විලාසිතාවලින් සැරසී මෙම උත්සවයට සහභාගී වී සිටිනවා.