වර්තමානයේ වයස් භේදයකින් තොරව බොහෝ දෙනෙක් ක්ෂණිකව සම සුදු කර ගැනීමේ අරමුණින් වෙළඳපොලේ ඇති විවිධ ආලේපන භාවිතයට පෙළඹී සිටිනවා. අලංකාරවත් සමක් ලබා ගැනීම වරදක් නොවුණත්, ඔබ නොදැනුවත්වම ඔබේ සෞඛ්‍යය අනතුරේ හෙළාගෙන සිටිනවා විය හැකියි.
මෙම ආලේපන ඇත්තෙන්ම අපට හිතකරද? නැතහොත් ඒවා අපේ ජීවිතවලට කොතරම් අහිතකරද යන්න පිළිබඳව විමසා බැලීම කාලීන අවශ්‍යතාවකි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන්ට අනුව ආලේපනයක අඩංගු රසදිය (Mercury) ප්‍රමාණය 1 ppm (parts per million) ඉක්මවා නොයා යුතු වුවත්, බොහෝ ක්‍රීම් වර්ගවල තිබූ රසදිය ප්‍රමාණය මෙම සීමාව දස දහස් ගුණයකින් ඉක්මවා තිබුණි. සමහර සාම්පලවල රසදිය මට්ටම 66,000 ppm වැනි අතිශය ඉහළ අගයක් ගෙන තිබීමෙන් ඒවා කෙතරම් විෂ සහිතදැයි ඔබටම සිතාගත හැකියි.
මෙවැනි ආලේපන මුහුණේ හෝ සිරුරේ ආලේප කරන විට, සම හරහා මෙම රසදිය ඉතා පහසුවෙන් රුධිරයට උරා ගනු ලබනවා. කාලයක් තිස්සේ නොකඩවා මෙම ක්‍රීම් වර්ග භාවිත කිරීමෙන් ශරීරය තුළ රසදිය තැන්පත් වී විෂ වීම සිදුවිය හැකියි. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඔබේ ස්නායු පද්ධතියට සහ වකුගඩුවල ක්‍රියාකාරීත්වයට බරපතළ හානි සිදුවිය හැකි අතර, සමෙහි විවිධ සංකූලතා ඇතිවීම ද නොවැළැක්විය හැකියි.
ගර්භනී සමයේදී මෙවැනි ආලේපන භාවිත කිරීම අතිශය භයානක වන්නේ රසදිය වැදෑ මහ හරහා ගමන් කර මවගේ ශරීරයෙන් දරුවාගේ ශරීරයට ඇතුළු වීමේ හැකියාව පවතින නිසයි. මවගේ පෙනුම වෙනුවෙන් ගන්නා මේ තීරණය නිසා ඉපදෙන දරුවාගේ කථනය, ශ්‍රවණය සහ බුද්ධිමය වර්ධනය ආශ්‍රිත දීර්ඝ කාලීන ආබාධ ඇතිවීමේ ඉඩකඩ ඉතා ඉහළයි.
ඔබේ සමේ නිරෝගීභාවය සහ අනාගත සෞඛ්‍යය ක්ෂණික ප්‍රතිඵල ලබාදෙන ආලේපනවලට වඩා වටිනා බව සිහියේ තබා ගන්න. ඕනෑම ආලේපනයක් මිලදී ගැනීමට පෙර එය වෛද්‍ය අනුමත නිෂ්පාදනයක්දැයි පරීක්ෂා කර බලන්න. ආරක්ෂිත නොවූ ආලේපන භාවිතයෙන් වළකිනවා මෙන්ම, පාරිභෝගික කටයුතු අධිකාරියේ නිල වෙබ් අඩවිය හරහා අහිතකර ලෙස හඳුනාගත් නිෂ්පාදන ලැයිස්තුව පිළිබඳව විමසිලිමත් වන්න. ඔබේ සමේ පැහැය ඔබේ අභිමානය නොවන අතර, නිරෝගී සමක් යනු සොබාදහම සහ නිසි සත්කාර මගින් ලබන්නකි.