ads
Entertainment

ලොවක් වසඟ කළ නත්තල් ප්‍රසංගයේ පියානෝ වාදනය

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
මෙවර නත්තල් සමයේ ලොව පුරා කාගේත් අවධානය දිනාගත් සුවිශේෂී සිදුවීමක් බවට වේල්ස් කුමරිය වන කැතරින් සහ ඇයගේ දියණිය චාලට් කුමරිය එක්ව ඉදිරිපත් කළ අපූර්ව පියානෝ වාදනය පත්ව තිබේ.

වෙස්ට්මිනිස්ටර් ඇබේ (Westminster Abbey) හි පැවති "Together at Christmas" නත්තල් කැරොල් වැඩසටහන වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු මෙම අංගය, මවක සහ දියණියක අතර ඇති සෙනෙහස සහ කලාත්මක සුසංයෝගය මැනවින් විදහා දැක්වූ අවස්ථාවක් ලෙස බොහෝ දෙනාගේ පැසසුමට ලක්විය.

මෙම යුගල වාදනය සඳහා ඔවුන් තෝරාගෙන තිබුණේ ස්කොට්ලන්ත නිර්මාණකරුවෙකු වන අර්ලන්ඩ් කූපර් විසින් රචිත "Holm Sound" නැමති සංගීත ඛණ්ඩයයි. මෙය ඔවුන් දෙපළ නිවසේදී ද නිතර වාදනය කරන, ඔවුන්ට ඉතා හුරුපුරුදු නිර්මාණයක් බව වාර්තා වේ. වින්ඩ්සර් මාලිගයේදී පටිගත කරන ලද මෙම දර්ශන පෙළෙහි දැක්වෙන්නේ කේට් කුමරිය ඇයගේ වම් අතින් පමණක් වාදනය කරන අතරතුර, චාලට් කුමරිය දකුණු අතින් පමණක් වාදනය කරමින් එක්ව කරන ලද අලංකාර නිර්මාණයකි.

මෙය සජීවී ඉදිරිපත් කිරීමක් නොවන අතර, නත්තල් දින විකාශය කිරීමේ අරමුණින් පසුගිය සතියේදී වින්ඩ්සර් මාලිගයේදී පූර්ව පටිගත කිරීමක් ලෙස සිදු කර ඇත. මෙම සංගීත ඛණ්ඩය වාදනය වන අතරතුර කේට් කුමරියගේ නත්තල් පණිවුඩය ද ප්‍රේක්ෂකයන්ට ශ්‍රවණය කිරීමට අවස්ථාව ලැබුණි. එහිදී ඇය නත්තල තුළ පවතින "සැනසිලිදායක බව" පිළිබඳව අදහස් දක්වා තිබූ අතර, මෙවර නත්තල් කැරොල් වැඩසටහනේ තේමාව වූයේ "ආදරයේ සහ එකමුතුකමේ බලය" යන්නයි.

කේට් කුමරිය සිය සංගීත කුසලතාවයෙන් ලොව පුදුමයට පත් කළ පළමු අවස්ථාව මෙය නොවේ. මීට පෙර 2021 වසරේදී ද ඇය ප්‍රකට ගායක ටොම් වෝකර් සමඟ පියානෝව වාදනය කරමින් සිය දක්ෂතාව ප්‍රදර්ශනය කළාය. කෙසේ වෙතත්, මෙවර සිය දියණිය ද සමඟින් ඉදිරිපත් කළ මෙම ගාම්භීර මෙන්ම ආදරණීය වාදනය මෙවර රාජකීය නත්තල් සැමරුම් අතර වඩාත් කැපී පෙනෙන අංගය බවට පත් විය.

0%
0%
0%
0%
Comments