ඒ අනුව, ප්‍රියතම සුපිරි වීරයෙකු වන ස්ටීව් රොජර්ස් හෙවත් 'කැප්ටන් ඇමරිකා' ලෙස ප්‍රකට ක්‍රිස් එවන්ස් (Chris Evans) නැවතත් මාවල් චිත්‍රපට මාලාව සමඟ එක්වන බව වාර්තා වෙනවා.
මෙම විශේෂ අනාවරණය සිදු කෙරුණේ ඉදිරියේදී තිරගත වීමට නියමිත Avengers: Doomsday චිත්‍රපටයේ පළමු පූර්ව ප්‍රචාරක පටය හරහාය.
මෙම කෙටි වීඩියෝව රසිකයින් අතර දැඩි කුතුහලයක් ඇති කිරීමට සමත් වූයේ එහි අන්තර්ගත වූ එක් සුවිශේෂී දර්ශනයක් හේතුවෙනි.
Avengers: Endgame චිත්‍රපටයෙන් පසුව විශ්‍රාමික සුවයෙන් පසුවන ස්ටීව් රොජර්ස්, මෙහිදී විවාහක පුද්ගලයෙකු ලෙසත්, වඩාත් වැදගත් ලෙස බිළිඳෙකු වඩාගෙන සිටින පියෙකු ලෙසත් පෙනී සිටියි. තම පැරණි පෙම්වතිය වූ පෙගී කාටර් සමඟ ගත කළ නිසල ජීවිතයේ කොටසක් ලෙස මෙම දර්ශන පෙළ ඉදිරිපත් කර ඇති අතර, එහි අවසානයේ ඔහු නැවතත් සටනට පිවිසීමේ ඉඟියක් ලබා දෙමින් ඔහුගේ පැරණි ඇඳුම් කට්ටලය දෙස බලා සිටින අයුරු දැක්වේ.
මාවල් ආයතනය තහවුරු කර ඇති පරිදි, ක්‍රිස් එවන්ස් පෙනී සිටින මෙම දැවැන්ත සිනමා නිර්මාණය 2026 දෙසැම්බර් 18 වන දින ලොව පුරා තිරගත වීමට නියමිතය. මෙහි තවත් විශේෂත්වයක් වන්නේ රොබට් ඩව්නි ජූනියර් (Robert Downey Jr.) 'ඩොක්ටර් ඩූම්' (Doctor Doom) නැමැති දුෂ්ට චරිතය හරහා නැවත පැමිණීමයි. කෙසේ වෙතත්, සෑම් විල්සන් දැනට කැප්ටන් ඇමරිකා ලෙස කටයුතු කරන බැවින්, ස්ටීව් රොජර්ස්ගේ චරිතය මෙහිදී 'නෝමෑඩ්' (Nomad) වැනි වෙනත් අනන්‍යතාවයකින් පෙනී සිටිනු ඇතැයි රසිකයින් මත පළ කරති.
මෙම පුවතත් සමඟ ලොව පුරා විසිරී සිටින මාවල් රසිකයින් දැඩි උද්යෝගයට පත්ව ඇති අතර, ස්ටීව් රොජර්ස්ගේ නව පවුල් ජීවිතය සහ ඔහු නැවතත් අවෙන්ජර්ස්වරුන් සමඟ එක්වන ආකාරය දැක ගැනීමට ඔවුන් නොඉවසිල්ලෙන් පසුවෙති.