රාජ්‍ය සේවයේ කටයුතු ඩිජිටල්කරණය කිරීමට කටයුතු කරන බව රජය ප්‍රකාශ කර සිටින මොහොතක රාජ්‍ය ආයතන සහ දෙපාර්තමේන්තුවල වෙබ් අඩවි අක්‍රිය වී තිබීම මෙන්ම පසුගිය කාල වකවානුවේදී ඇතැම් රාජ්‍ය ආයතනවල වෙබ් අඩවිවලට එල්ල වූ සයිබර් ප්‍රහාර ගැන බොහෝ අවස්ථාවන් වලදී මහජනතාවගේ අවධානය යොමු වූ කරුණක් විය.
මේ වන විට රජයේ වෙබ් අඩවි මුහුණ පා ඇති ගැටලුව සම්බන්ධයෙන් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල පැවසුවේ එවැනි තත්ත්වයකට හේතුවී ඇත්තේ ලංකා ගවර්මන්ට් ක්ලවුඩ් (Lanka Government Cloud) සේවාවේ තාක්ෂණික දෝෂයක් බවය.
රජයේ වෙබ් අඩවි මෙන්ම සේවාවන් සඳහා එල්ලවී ඇති බාධාවන් ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා පියවර ගනිමින් සිටින බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල අදහස් දක්වමින් පැවසුවේය.
"රජයේ වෙබ් අඩවි වගේම සේවාවන් ගොඩක් බිඳ වැටිලා තියෙනවා. මේකට හේතුව ලංකා ගවර්මන්ට් ක්ලවුඩ් සිස්ටම් එක තාක්ෂණික දෝෂයකට මුහුණ දීලා තියෙන නිසා. මේ වෙද්දී අපි ටෙලිකොම් ආයතනය එක්ක සාකච්ඡා කරමින් මේ තත්ත්වය ඉක්මනට යථා තත්ත්වයට පත් කරන්න අවශ්‍ය ක්‍රියා මාර්ග ගනිමින් තිබෙනවා.'' ''මේකට හේතුව වෙලා තියෙන්නේ ධාරිතාව ඉක්මවා ගිහින් තියෙන එකයි. අපි ඉක්මනට මේ තත්ත්වය පාලනය කර ගන්න පියවර ගන්නවා."
යනුවෙන් ඔහු පැවසීය.
බිඳ වැටී ඇති ඔන්ලයින් රාජ්‍ය සේවාවන් ලෙස,සීමාසහිත ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතන (පුද්ගලික) සමාගම හෙවත් ICTA නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ රාජ්‍ය ආයතන කිහිපයක් මගින් පවත්වාගෙන යනු ලබන මාර්ගගත සේවාවන්වලට තාවකාලිකව බලපෑම් එල්ලවී තිබෙන බවය.
මෙලෙස බාධාවන් එල්ලවී ඇති සේවාවන් අතර රෙජිස්ට්‍රාටර් ජනරාල් දෙපාර්තමේන්තුවේ උප්පැන්න, විවාහ සහ මරණ (BMD) සහතික නිකුත් කිරීමේ පද්ධතිය, පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (බස්නාහිර පළාත හැර) මාර්ගගත ආදායම් බලපත්‍ර පද්ධතිය, පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් නිෂ්කාශන සහතික පද්ධතිය, වාණිජ දෙපාර්තමේන්තුවේ නිෂ්පාදිත රට සහතික නිකුත් කිරීමේ මාර්ගගත පද්ධතිය, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ විශ්‍රාම වැටුප් පද්ධතිය, ඊ - පළාත් පාලන පද්ධතිය සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ගිණුම්කරණ හා විගණන ප්‍රමිති මණ්ඩලය ඇතුළු ආයතන කිහිපයක වෙබ් අඩවි මීට ඇතුළත් බව ICTA ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
මේ අතර සිය මෝටර් රථයේ ආදායම් බලපත්‍රය අලුත් කර ගැනීම සඳහා දින කිහිපයක් පුරා මාර්ගගත ක්‍රමයට උත්සාහ කරමින් අපහසුතාවයට පත් වූ පුද්ගලයින් කිහිප දෙනෙකු මාධ්‍ය වෙත පවසා සිටියේ තමන් දැඩි අපහසුතාවයකට මුහුණ දී සිටින බවය. දින ගණනාවක් මේ සදහා කාලය වැය කල බවත් ආණ්ඩුව ඩිජිටල් කරන බව පැවසුවත් තවමත් එය නිසි ලෙස සිදු කර ගැනීමට නොහැකි වී ඇති බවත් මාර්ගයේ ගමන් කරන විට පොලිසියෙන් තමාගේ වාහනය නතර කලහොත් තමන් කුමක් පවසන්නේද යන්නත්ය.
සයිබර් ආරක්ෂණ විශේෂඥ අසේල වෛද්‍යාලංකාර පැවසුවේ මෙම ගැටලුව ගතවූ සතිය පුරාවට පැවති බවය. ඔහු වැඩිදුරටත් පැවසුවේ රජය විසින් රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේදී ඊට අවශ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම ගැන වැඩි අවධානයක් යොමු කළ යුතු බවය.
"මේක අද වෙච්ච සිදුවීමක් නෙමෙයි. ගිය සතියේ ඉඳන් විටින් විට ආපු ප්‍රශ්නයක් මේක. මේක තියෙන්නේ ලංකා ගවර්මන්ට් ක්ලවුඩ් (Lanka Government Cloud) කියන රජයේ සාමාන්‍ය දත්ත පද්ධති,වෙබ් සයිට් ඔක්කොම හොස්ට් කරලා තියෙන්නේ මෙතන. මේක සයිබර් ප්‍රහාරයක් නෙමෙයි. යම් තාක්ෂණික දෝෂයක් නිසා මේක සිද්ධ වෙලා කියලයි අපිට තොරතුරු තියෙන්නේ. මීට කලිනුත් විවිධ අවස්ථාවන් වලදී තාක්ෂණික දෝෂ ඇවිල්ලා තියෙනවා. නමුත් මේ වගේ ලොකු කාලයක් ගිහින් නැහැ මීට කලින් සිද්ධ වෙලා තියෙන්නේ. මෙතැනදී රජයේ ආයතන සහ වෙබ් අඩවි ගොඩක් බිඳ වැටිලා තියෙනවා.''
''අපි මෙතැනදී බලන්න ඕන වැදගත්ම දේ තමයි දත්ත පද්ධතිය කළමනාකරණය කරන්නේ කොහොමද කියලා.ඒකෙ තාක්ෂණික කාරණා තියෙනවා, කළමනාකාරීත්වය පිළිබඳ කාරණා තියෙනවා, හාඩ්වෙයාර් පිළිබඳ කාරණා ඇතුළු සියලු දේ එකට එකතු කරගෙන මේවා කළමනාකරණය කිරීම ගැන අවධානය යොමු කරන්න ඕන කියලයි මට කියන්න තියෙන්නේ.''
''රජය උත්සාහ කරනවා රජයේ දෙපාර්තමේන්තු වගේම සේවාවන් ඔක්කොම ඩිජිටල්කරණය කරන්න. එතැනදී මේ දත්ත පද්ධතිවල කළමනාකරණය ගැන මීට වඩා ව්‍යුහාත්මකව කල්පනා කරන්න වෙනවා. මේ වගේ බිඳ වැටීමත් එක්ක රජයේ සේවාවන් එකක් නෙමෙයි කිහිපයක්ම බිඳ වැටෙනවා. අන්න එතැනදී තමයි අපි පාඩමක් ඉගෙන ගන්න ඕන.''
''එතන සයිබර් ආරක්ෂණය ගැන ජාත්‍යන්තර තත්ත්ව සහතිකය තියෙන්න අවශ්‍ය වෙනවා. මෙතැනදී මේක අර්ධ රාජ්‍ය ක්‍රියාවලියකට ගිහින් කටයුතු කරන්න පුළුවන් රජයට.''
''මේවා සියලු දේ වෙන්නේ ජනතාවගේ බදු මුදල් වලින්, ඒ නිසා මේ වගේ බිඳ වැටීමක් සිද්ධ වුනාම ආපහු මේ කටයුතු නැවත යාවත්කාලීන කරන්න, ඒවා ගොඩනගන්න වැය වෙන්නේ මහජනතාවගේ බදු මුල්ම තමයි. බදු මුදල් නිකරුනේ වැය නොකර මේ කටයුතු ක්‍රියාත්මක කරන්න අවශ්‍ය ක්‍රියාමාර්ග මොනවාද කියලා කල්පනා කරන්න.'' අසේල මහතා පවසන ලදී.
''ඒ වගේම මේ වගේ කටයුත්තකදී Disaster
recovery site එකක් තිබීම ඉතා වැදගත්. ඒ කියන්නේ ප්‍රධාන තොරතුරු පද්ධතියේ බිඳ වැටීමක් වුණත් බැකප් එකට තියෙන සයිට් එකෙන් වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන්. මේ වගේ දේවල් සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න අවශ්‍ය වෙනවා."
ඔහු වැඩිදුරටත් පැවසුවේය.Punch headlines, include the impact,