
ක්ලැරන්ස්ට පණ පොවන දමිත්
දමිත් කොහොමද මේ දවස් වල වැඩකටයුතු ?
"ඇත්තටම දැන් ක්ලැරන්ස්ගේ 'Rhythm Of The Guitar' චිත්‍රපටය සම්බන්ධ වැඩකටයුතු කරගෙන යනවා. ඊට කලින් මම දෙවනියට රඟපෑ චිත්‍රපටයේ 'Hello from the other side' මීඩියා රිලීස් එක තිබ්බා. ඒක ලංකාවේ තවම පෙන්නලා නැති වුණත්, ජාත්‍යන්තරව ඔස්ට්‍රේලියාව වැනි රටවල් කිහිපයක තිරගත වෙනවා. ඒ චිත්‍රපටය සම්මාන කිහිපයකටම පාත්‍රවීම සතුටක්. ඊට අමතරව සාමාන්‍ය ජීවිතයේ වැඩකටයුතු සහ නිරූපණ ක්ෂේත්‍රයේ වැඩකටයුතු කරගෙන යනවා. ටිකක් කාර්යබහුලයි මේ දවස්වල."
දමිත් ගැන කෙටියෙන් හැඳින්වීමක් කළොත්?
"මම 2016 මිස්ටර් ශ්‍රී ලංකා කිරුළ දිනාගන්න වාසනාවන්ත වුණා. පිලිපීනයේ පැවැත්වුණ Man of the World තරගාවලියේදී රටවල් 34කින් අවසන් 12 දෙනා දක්වා පැමිණීමට මට අවස්ථාව ලැබුණා. ඊට අමතරව නිරූපණ ශිල්පියෙක් විදිහට වැඩකටයුතු කරගෙන යනවා. ඉවසීමෙන් වැඩකරමින්, හිමින් ගමනක් යන, හැමෝටම පුළුවන් විදිහට උදව් කරන, බොහොම සාමාන්‍ය සරල ජීවිතයක් ගෙවන සරල පුද්ගලයෙක් මම."
ඔබ රංගන ක්ෂේත්‍රයට කොහොමද අවතීර්ණ වුණේ?
"සිනමාවට කලින් මම මුලින්ම ටෙලිනාට්‍යයකට සම්බන්ධ වුණා. ඒ සාරංග මෙන්ඩිස්ගේ 'හදවතේ කතාව'. ඒ ටෙලිනාට්‍යයේ නිෂ්පාදකවරු සහ අධ්‍යක්ෂවරු කිහිප දෙනෙක් සමඟ මම වැඩ කළා. මගේ වැඩවල කාර්යබහුලත්වයත් එක්ක කෙටි කාලයක් තමයි ටෙලිනාට්‍ය වලට සම්බන්ධ වුණේ. ඊට පස්සේ තමයි මගේ පළවෙනි සිනමා නිර්මාණයට දායක වුණේ. ඒ තේජා ඉද්දමල්ගොඩ අධ්‍යක්ෂණය කරපු, තුසිත විජේසේන නිෂ්පාදනය කරපු 'Rhythm Of The Guitar' චිත්‍රපටය. මේක ක්ලැරන්ස් විජේවර්ධන මහතාගේ ජීවිත කතාව ඇසුරින් නිර්මාණය වූවක්. මට මේකට මග පෑදුණේ වෙළෙඳ දැන්වීමක් අතරතුරදී රුවන් කොස්තා මහතාව හමුවීමෙන්. එතුමා විසින් තේජා ඉද්දමල්ගොඩට මාව හඳුන්වා දුන්නා. ඊට පස්සේ ඒ දෙන්නා සම්බන්ධයෙන් තමයි මට සිනමාවට එන්න හැකියාව ලැබුණේ."
"ක්ලැරන්ස් - Rhythm Of The Guitar" චිත්‍රපටය ගැන කියමුද?
"'Rhythm Of The Guitar' චිත්‍රපටය ගැන කිව්වොත්, ලංකාවේ සංගීතයට ලොකු පෙරළියක් ඇති කරපු ශ්‍රේෂ්ඨ සංගීතවේදියෙක් වන ක්ලැරන්ස් විජේවර්ධන මහතාගේ ජීවිත කතාව ඇසුරින් නිර්මාණය වූවක්. මේක සම්පූර්ණ ජීවිත කතාවම නෙවෙයි. එතුමාගේ ජීවිත කතාවේ ප්‍රධාන සන්ධිස්ථාන කිහිපයක් පාදක කරගෙන, මේ නිර්මාණය කළා.
මේ උත්සාහය ගත්තේ තේජා ඉද්දමල්ගොඩ අධ්‍යක්ෂවරයා. කණගාටුවෙන් වුණත් මතක් කරන්න ඕනේ, එතුමා අද ජීවතුන් අතර නෑ. මම සම්බන්ධ වන පළවෙනි සිනමා නිර්මාණය මේක. නිෂ්පාදනය තුසිත සහ රුවන් කොස්තා වැනි පුද්ගලයන් කිහිපදෙනෙක් තමයි මාව මේ නිර්මාණයට සම්බන්ධ කරගත්තේ. ඉතින් මම ඒ හැමෝටම ස්තූතිවන්ත වෙනවා."
"ක්ලැරන්ස් - Rhythm Of The Guitar" චිත්‍රපටයේ ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ චරිතය නිරූපණය කිරීම අභියෝගයක් වුණේ නැද්ද? ඒ චරිතය සඳහා සූදානම් වුණේ කොහොමද?
"Rhythm Of The Guitar චිත්‍රපටයේ ක්ලැරන්ස් විජේවර්ධනගේ චරිතය නිරූපණය කිරීම මට ලොකු අභියෝගයක් වුණා. ඇත්තටම මේ නිර්මාණය තුළ මුළු චිත්‍රපටයම මට අභියෝගයක්. මේ නිර්මාණය තුළ ලොකු පිරිසක් හිටියා. ඒ හැමෝගෙම සහයෝගය නොතිබුණා නම් මට ප්‍රේක්ෂකයාට මේ නිර්මාණය ඉදිරිපත් කරන්න හැකියාවක් නෑ. මාස දෙකක් වගේ කාලයක් ක්ලැරන්ස් විජේවර්ධන චරිතය පිළිබඳව විස්තර, ඔහු ඇසුරු කරපු පුද්ගලයන්, පවුලේ අය, ඔහුගේ සංගීත ශෛලීන් වගේ දේවල් අධ්‍යයනය කළා.
මේ නිර්මාණය ඇතුළේ මට ලොකු වගකීමක් පැවරිලා තිබුණා. ක්ලැරන්ස් විජේවර්ධන වැනි දක්ෂ සංගීතවේදියාගේ ජීවිතය බොහොම පරිස්සමෙන් ප්‍රේක්ෂකයාට ගෙන යන්න මගේ උපරිමයෙන් උත්සාහ කළා. හිතනවා සාර්ථකයි කියලා. ඒ වගේම මම මගේ ප්‍රේක්ෂකයාගෙන් ලැබෙන ප්‍රතිචාරය හොඳ වුණත්, නරක වුණත් බාර ගන්න සූදානම්."
ඉදිරි බලාපොරොත්තු මොනවාද?
"සිනමාවට ප්‍රවිෂ්ට වුණා. හිතනවා සිනමාවත් එක්ක ගමනක් යන්න පුළුවන් වෙයි කියලා. ඒකට උත්සාහ කරනවා. සිනමාවට ප්‍රවිෂ්ට වෙන්න හීනයක් තිබ්බා. නිරූපණ ක්ෂේත්‍රයේ වගේම සිනමාව ඇතුළෙත් දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා."
දමිත් විජයතුංගගේ ඉදිරි කලා කටයුතුවලට Ziradaily අපෙන් උණුසුම් සුබ පැතුම්!
✍️ නයනාංජලී හේවගේ