විශේෂයෙන්ම අධික රශ්මිය හමුවේ සතුන්ගේ සිරුරේ උෂ්ණත්වය පාලනය කරගත නොහැකි මට්ටමට ඉහළ යාමෙන් ඔවුන් මියයාමට පවා ඉඩ ඇති බැවින්, මේ කාලයේදී සුරතලුන් වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කිරීම අත්‍යවශ්‍ය වේ.
කළු පැහැති සුරතලුන්ට වැඩි අවදානමක්

අධික හිරු රශ්මිය සතුන් කෙරෙහි බලපාන්නේ විවිධ ආකාරයෙනි. මෙහිදී විශේෂයෙන්ම කළු පැහැති ලෝම සහිත සුනඛයින් සහ බළලුන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුය. කළු පැහැය රශ්මිය වැඩිපුර උරාගන්නා බැවින් ඔවුන්ගේ සිරුරේ උෂ්ණත්වය ඉතා වේගයෙන් ඉහළ යයි. එබැවින් මධ්‍යහ්න 12 සිට සවස 3 දක්වා කාලය තුළ මෙවැනි සුරතලුන් එළිමහනට රැගෙන යාමෙන් වළකින ලෙස වෛද්‍යවරයා උපදෙස් දෙයි.
වාහන තුළ සුරතලුන් තනි නොකරන්න
බොහෝ දෙනෙක් සිදුකරන භයානක වැරැද්දක් වන්නේ සුරතලුන් වාහනය තුළ රඳවා සාප්පු සවාරි හෝ වෙනත් කටයුතුවල නිරත වීමයි. උණුසුම් දිනවලදී වාහනයක් ඇතුළත උෂ්ණත්වය මිනිත්තු කිහිපයකින් මාරන්තික මට්ටමකට ඉහළ යා හැකිය. පැයක පමණ ගමනකදී පවා සත්ත්වයාගේ සිරුරේ උෂ්ණත්වය පාලනය කරගත නොහැකි වී මරණයට පත්වීමේ වැඩි ඉඩකඩක් පවතින බැවින් කිසිදු විටක සුරතලුන් නවතා ඇති රථවාහන තුළ රඳවා නොයන්න.
රෝග ලක්ෂණ හඳුනාගෙන වහා ක්‍රියාත්මක වන්න
ඔබේ සුරතලා දිව එළියට දමාගෙන අධික ලෙස හති දමන්නේ නම්, එය සිරුරේ උෂ්ණත්වය ඉහළ යාමේ ප්‍රධාන ලක්ෂණයකි. එවැනි අවස්ථාවකදී වහාම ක්‍රියාත්මක වී සතාගේ සිරුර ජලයෙන් තෙමීම හෝ අයිස් කැට ලබාදීම කළ යුතුය. විශේෂයෙන්ම රොට්වයලර් වැනි කිලෝ 40කට වඩා බරින් වැඩි විශාල සුනඛයින්ට මේ රශ්මිය දරාගැනීම අපහසුය. සුරතලා අසාධ්‍ය තත්ත්වයක පෙනේ නම් ප්‍රමාද නොකර පශු වෛද්‍යවරයෙකු වෙත යොමු කිරීම ඉතා වැදගත් වේ.
උණුසුමෙන් බේරීමට ගත හැකි සරල පියවර
මෙම කාලසීමාව තුළ සුරතලුන් රැඳී සිටින කූඩු අධික ලෙස රත්වීමට ඉඩ ඇත. එබැවින් කූඩුවේ වහලය නිසි පරිදි ආවරණය කර රශ්මිය අවම කිරීමට පියවර ගන්න. එමෙන්ම දහවල් කාලයේදී කිසිම විටක සුනඛයින්ට මුඛවාඩම් පැළඳවීමෙන් වළකින්න. ඔවුන් නිතරම ගැවසෙන ස්ථානයක පිරිසිදු පානීය ජලය තැබීම.