කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පෙන්වා දෙන්නේ මේ දිනවල දරුවන් විජලනයෙන් හා තාප කම්පනයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් නිවසේදී මෙන්ම පාසලේදී ද අනුගමනය කළ යුතු බවයි.
විජලනය හඳුනා ගන්නේ කෙසේද?
දරුවෙකු විජලනයට පත්වන විට ශරීරය විවිධ රෝග ලක්ෂණ මඟින් එය පෙන්නුම් කරයි. ඔබේ දරුවා සාමාන්‍ය ප්‍රමාණයට වඩා නිදිමත ගතියකින් පසුවන්නේ නම්, ආහාර අරුචිය, ඇඟපත වේදනාව හෝ වෙනදාට වඩා අලස බවක් පෙන්වන්නේ නම් ඒ පිළිබඳව වහාම අවධානය යොමු කරන්න. මෙවැනි ලක්ෂණ මතු වූ සැනින් දරුවාට වැඩිපුර ජලය සහ ස්වාභාවික දියර ආහාර ලබා දීමට කටයුතු කිරීම අත්‍යවශ්‍ය වේ.
ජලය සහ ස්වාභාවික පාන වර්ගවල ඇති වැදගත්කම
උණුසුම් කාලගුණය නිසා දහඩිය ලෙස ශරීරයෙන් පිටවන ජලය නැවත ලබා දීම අනිවාර්ය වේ. මේ සඳහා කෘතිම පාන වර්ග වෙනුවට තැඹිලි, කුරුම්බා, ස්වාභාවික පළතුරු යුෂ හෝ කැඳ වර්ග වැනි දියර ආහාර දරුවන්ට ලබා දීමට උනන්දු වන්න. විශේෂයෙන් පාසල් යන දරුවන්ගේ ජල බෝතලය නිතර පිරවීමටත්, ඔවුන්ට පිපාසය දැනෙන තෙක් නොසිට නිතර ජලය පානය කිරීමටත් හුරු කරන්න.
සමේ රෝගවලින් ආරක්ෂා වීමට
අධික උණුසුම නිසා දහඩිය දැමීම සහ සම මත විෂබීජ ක්‍රියාත්මක වීමෙන් දද, කුෂ්ඨ සහ බිබිලි වැනි සමේ රෝග ඇතිවීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බව වෛද්‍යවරු පෙන්වා දෙති. මින් ආරක්ෂා වීමට දරුවන් දිනකට දෙවරක්වත් ස්නානය කරවීම වැදගත්ය. දරුවා විනාඩි 20ක් පමණ ජලය සමඟ ගැවසීමට ඉඩ හැරීමෙන් ශරීර උෂ්ණත්වය පාලනය කර ගැනීමටත්, සමේ රෝග අවම කර ගැනීමටත් හැකියාව ලැබේ.
හිරු රශ්මිය අධික දහවල් කාලයේදී දරුවන් එළිමහන් ක්‍රීඩාවල යෙදවීම හැකිතාක් සීමා කරන්න. විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා වැඩිදුරටත් පැවසුවේ ක්‍රීඩා කටයුතුවල නිරත වන දරුවන්ට සෑම විනාඩි කිහිපයකට වරක් ජලය පානය කිරීමට විවේකයක් ලබා දෙන්න.
සැහැල්ලු සහ ලා පැහැති කපු රෙදිවලින් නිම කළ ඇඳුම් දරුවන්ට ඇන්දවීමට උත්සාහ කරන්න. දරුවාගේ සෞඛ්‍යය පිළිබඳව සුළු හෝ සැකයක් පවතී නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට ප්‍රමුඛතාවය දෙන්න.