ඒ අනුව, මීට පෙර සිකිම් ප්‍රාන්තයේ හිටපු මහ ඇමති පවන් කුමාර් චැම්ලින් විසින් තබා තිබූ දින 8,930ක වාර්තාව අභිබවා යමින් මෝදි මහතා අද සිය සේවා කාලයේ 8,931 වන දිනය සනිටුහන් කළා.
ගුජරාටයේ සිට දිල්ලිය දක්වා ආ දේශපාලන ගමන
නරේන්ද්‍ර මෝදි මහතාගේ මෙම දීර්ඝ දේශපාලන ගමන ආරම්භ වන්නේ 2001 වසරේදී ඔහු ගුජරාට් ප්‍රාන්තයේ මහ ඇමති ධුරය භාරගැනීමත් සමඟයි. භූමිකම්පා, දරුණු චණ්ඩ මාරුත සහ දේශපාලන අස්ථාවරත්වයන්ගෙන් පීඩා විඳිමින් තිබූ ගුජරාටය, "යහපාලනයේ කේන්ද්‍රස්ථානයක්" බවට පත්කිරීමට ඔහුට හැකි වුණා.
ගුජරාටයේ වැඩිම කාලයක් සේවය කළ මහ ඇමතිවරයා ලෙස ලැබූ ඒ අත්දැකීම් සමුදාය, පසුව ඔහුව ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධුරය දක්වා ඔසවා තැබීමට ශක්තිමත් පදනමක් වුණා.
නොකඩවා තෙවතාවක් ජනතා ප්‍රසාදය දිනූ නායකයා
2014, 2019 සහ 2024 යන වසරවල පැවති මහ මැතිවරණ තුනකදීම සිය පක්ෂය අඛණ්ඩව ජයග්‍රහණය කරවීමට සමත් වූ මෝදි මහතා, ඉන්දියාව නිදහස ලැබීමෙන් පසු උපත ලැබූ පළමු ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ද වනවා.
වසර 25කට ආසන්න කාලයක් සක්‍රීයව රාජ්‍ය නායකත්වය දැරීම තුළින් ඔහු තහවුරු කර ඇත්තේ තමා කෙරෙහි ඇති මහජන විශ්වාසයයි.
"Viksit Bharat" හෙවත් සංවර්ධිත ඉන්දියාවක හීනය
සිය පාලන කාලය පිළිබඳ අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ, පසුගිය වසර 11ක කාලය තුළ ඉන්දියාවේ කෝටි 25කට අධික ජනතාවක් දරිද්‍රතාවයෙන් මුදවා ගැනීමට තමන්ට හැකි වූ බවයි.
වර්තමානය වන විට ඉන්දියාව ලෝකයේ ප්‍රමුඛතම ආර්ථිකයක් ලෙස නැගී සිටින අතර, 2047 වන විට "සංවර්ධිත ඉන්දියාවක්" ගොඩනැගීම ඔහුගේ ප්‍රධාන අරමුණ වී තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත වටිනාකම් මත හිඳිමින් ඉන්දියාවේ අනාගතය වෙනුවෙන් තවදුරටත් කැපවී සේවය කරන බවයි ඔහු අවධාරණය කරන්නේ.