ads
Interview

රටක් ආදරේ කරන සොඳුරු හඬ, අභිෂේකා විමලවීර

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
අභිෂේකා විමලවීර කියන්නේ අපේ රටේ සංගීත ලෝකයේ ඉන්න සුවිශේෂී චරිතයක්. ඇයගේ හඬට ආදරය කරන බොහෝ දෙනෙක් ඉන්නවා. ගායිකාවක්, ගී පද රචිකාවක් වගේම ව්‍යාපාරිකාවක්, චර්මරෝග සම්බන්ධ විශේෂඥවරියක් ලෙසත් කටයුතු කරන ඇය, ඇගේ ජීවිතේ සුන්දර තොරතුරු කිහිපයක් ගැන Ziradaily අප සමඟ කතා කළේ මෙහෙමයි.

your image

අභිෂේකා කොහොමද මේ දවස් වල වැඩකටයුතු ?

මේ දවස්වල අලුත් වැඩ කටයුතු කිහිපයක්ම තියෙනවා. අලුත්ම යුග ගීතයක් එළිදැක්වීමටත් සූදානම් වෙනවා. මෑතකදී 'මදර් ලංකා' චිත්‍රපටයේ තේමා ගීතය ගායනා කළා. එය අනූෂ අයියාගේ නිර්මාණයක්. ඊට අමතරව ප්‍රසන්න ජයකොඩි අයියාගේ 'චන්දරේගෙ වයිෆ්' චිත්‍රපටයේ තේමා ගීතයත් ගායනා කළා. ඒ වගේම රියැලිටි වැඩසටහනක විනිසුරුවරියක් ලෙසත් කටයුතු කළා. 

your image

අභිෂේකා ඔබ ගැනත්, ඔබේ පවුල ගැනත් ටිකක් කියන්න පුළුවන්ද?

මම මේ වෙනකොට ව්‍යාපාරිකාවක් වගේම, චර්මරෝග සම්බන්ධ විශේෂඥවරියක් ලෙසත් කටයුතු කරනවා. ඊට අමතරව, ගායිකාවක්, ගී පද රචිකාවක් සහ බාහිර කථිකාචාර්යවරියක් ලෙසත් වැඩ කටයුතු කරගෙන යනවා. 

මට දුවෙක් ඉන්නවා ෆේරි. මගේ සැමියා මේ දවස්වල විදේශගතවයි ඉන්නේ. ඒ වගේම මට ගොඩක් හයියක් වෙන මගේ ආදරණීය අම්මා මගේ ළඟ ඉන්නවා.

your image

යාපනයේ අලුත්ම ප්‍රසංගයක් ගැන ආරංචි..

ඔව්, මේ දවස්වල අපි යාපනයේ සංගීත ප්‍රසංගයක් සඳහා ලෑස්ති වෙනවා. සැප්තැම්බර් 6 වැනිදා තමයි ප්‍රසංගය පැවැත්වෙන්නේ ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ. මේ සැරේ අපේ තේමාව වෙන්නේ 'ආදරය කියන්නේ සාමයට සමාන පදයක්' කියන එක.. කොළඹ ප්‍රසංගවලට වඩා යාපනයේ ප්‍රසංගයක් පැවැත්වීම ටිකක් අපහසුයි. නමුත් එහිදී අපිට හමුවෙන ප්‍රේක්ෂක පිරිසට අපේ ආදරණීය පණිවිඩය ගෙනියන්න අපි බලාපොරොත්තු වෙනවා. 

your image

යාපනයේ අලුත් අත්දැකීම් ගැන මොකද හිතෙන්නේ?

යාපනය කියන්නේ හරිම සුන්දර තැනක්. ඒ වගේම හරිම ආදරණීය මිනිස්සු ඉන්න තැනක්. අපි දැනටමත් යාපනයේ ප්‍රධාන පුස්තකාලයට සහ තවත් පුංචි පුස්තකාල කිහිපයකටම පොත් එකතු කරලා තියෙනවා. හරිම සතුටුයි හරිම ආඩම්බරයි මගේ රටේ මිනිසුන් ගැන මේ වෙනකොට දෙදහසකට වැඩි පොත් සංඛ්‍යාවක් එකතු වෙලා තියෙනවා. 

ඔබ ගායනා කරන ගීත අතරින් ඔබ වඩාත්ම ආසා කරන ගීතය මොකක්ද? 

ඇත්තටම මම ගායනා කරපු ගීත අතුරින් මම වඩාත්ම ආසා කරන කියලා එක ගීතයක් නම් කියන්න බැහැ. මම හැම ගීතයකටම එක හා සමානව ආසයි. 

your image

අභීගේ ජීවිතයේ අමතක නොවන සිදුවීම?

මගේ ජීවිතයේ මට කවදාවත් අමතක නොවන සිදුවීම තමයි මගේ දියණියගේ උපත. දරුවෙක් කියන්නේ අම්මා කෙනෙකුට ලැබෙන වටිනාම සම්පත. ඒ අත්දැකීම මට හරිම විශේෂයි.

ආදරණීය පියානන් ගැනත් මතක් නොකර බෑ. ඒ ගැනත් මතක් කරොත්..

මගේ පියා සුනිල් විමලවීර, ඔහු ගීත රචකයෙක් සහ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්. හැම දරුවෙක්ම කියනවා වගේ, ලෝකයේ ඉන්න හොඳම තාත්තා මටත් ඒ වගේමයි. ඔහු නැති වෙලා දැන් අවුරුදු අටක් වෙනවා. මේ අගෝස්තු 23 වැනිදා ඔහුගේ උපන්දිනය. ඉතින් දවසින් දවස ඔහු නැති අඩුව මැකෙයි කියලා හිතුවට දවසින් දවස ඒ අඩුව තව තවත් දැනෙනවා. තාත්තා වෙනුවෙන් මම ගීත දෙකක් නිර්මාණය කරල තියනවා. ඒ තමයි 'තාත්තේ' සහ 'චන්ද්‍ර මණ්ඩලේ' යන ගීත දෙක. තාත්තාගේ හීන ඉදිරියටත් සැබෑ කරන්න මම හැකිතාක් උත්සාහ කරනවා.

your image

අභිෂේකා විමලවීර ඉදිරි වැඩ කටයුතුවලට Ziradaily අපෙන් උණුසුම් සුබ පැතුම්!

✍️ නයනාංජලී හේවගේ

75%
25%
0%
0%
Comments