ads
Interview

මව්කිරි වලින් දරුවාට ශරීරගතවන ක්ෂුද්‍ර ප්ලාස්ටික්

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
අද අප කතා කරන්නේ ඉතාම වැදගත් මාතෘකාවක් ගැනයි. ඒ තමයි ප්ලාස්ටික් භාවිතය නිසා අපේ සෞඛ්‍යයට ඇතිවන බලපෑම්. මේ පිළිබඳව අපට කරුණු පැහැදිලි කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පිඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය සජිත් එදිරිසිංහ මහතායි.

your image

වෛද්‍යතුමනි, අපි බොහෝ විට කරන වැරැද්දක් තමයි ප්ලාස්ටික් පුළුස්සන එක. මෙය ඇත්තටම සෞඛ්‍යයට අහිතකරද?

ඔව්, එය ඉතාම භයානකයි. අපි ප්ලාස්ටික් පුළුස්සන විට ඩයොක්සින් (Dioxin) නම් වායුවක් පිට වෙනවා. මේ වායුව පිළිකාකාරකයි. කුඩා ප්ලාස්ටික් හෝ බෝතල් වැනි දේ පුළුස්සන විට, ඒ පිළිකාකාරක අපේ ශ්වසන පද්ධතියට ඇතුළු වෙනවා. මෙය ඉතාමත්ම හානිකරයි.

your image

අප බොන වතුර බෝතල් ගැනත් යමක් කිව යුතුයි නේද?

නිසැකවම. අප බොන වතුර බොහෝ දුරට අඩංගු කරලා තියෙන්නේ ප්ලාස්ටික් බෝතල් වල. මේ ප්ලාස්ටික් බෝතල් වලින් වතුර පානය කිරීම ඉතාම අහිතකරයි. ඔබ දැකලා ඇති, කඩවල් වල ප්ලාස්ටික් බෝතල් පැක් පිටින්ම අව්වට නිරාවරණය වෙන්න තියලා තියෙනවා. අව් රස්නෙත් එක්ක ඇතුලේ ප්ලාස්ටික් වල තියෙන ලේයර් එක ගැලවෙන්න පටන් ගන්නවා. ඒක නොදැනීම වතුරට එකතු වෙනවා. අපි බොන්නේ ඒ වතුර. ඒ නිසා කිසිම හේතුවක් නිසාවත් ප්ලාස්ටික් බෝතල් වල තියෙන වතුර බොන්න එපා.

මයික්‍රෝ ප්ලාස්ටික් ගැන දැනට වැඩියෙන් කතා වෙනවා. මේවා මොනවාද?

ප්ලාස්ටික් ඇත්තටම භාවිතයට සහ නිෂ්පාදනයට යොදා ගත්තේ 1950 ගණන් වල. නමුත් මයික්‍රෝ ප්ලාස්ටික් (Microplastics) කියන ඉතාම සියුම්, අපට නොපෙනෙන ප්ලාස්ටික් අංශු තිබෙනවා කියලා සොයා ගත්තේ 2004 දී. එතකොට ප්‍රශ්නයක් මතුවෙනවා 2004 දක්වා මේවා අපේ ශරීර වලට එකතු වුණේ නැද්ද කියලා. දැන් තමයි මේවා හඳුනාගෙන තියෙන්නේ.

your image

අපේ ශරීරයට මයික්‍රෝ ප්ලාස්ටික් ඇතුළු වෙන ප්‍රධාන ක්‍රම මොනවාද?

වැඩිපුරම ප්ලාස්ටික් අපේ ඇඟට ඇතුල් වෙන ප්‍රධාන ක්‍රමයක් තමයි අපි ශ්වසනය කිරීමෙන්. අපි හිතන්නෙවත් නැති දෙයක් තමයි, පරිසරයේ විශාල වශයෙන් මයික්‍රෝ ප්ලාස්ටික් අංශු තිබීම. අපිට ඒවා පේන්නේ නැහැ, නමුත් හුස්ම ගන්නකොට ඒවා පෙනහළු වලට ඇතුල් වෙනවා.

ඊට අමතරව, සමහර රූපලාවණ්‍ය ක්‍රීම් වර්ග වල මයික්‍රෝ ප්ලාස්ටික් අඩංගු වෙන්න පුළුවන්. හදිසියේ අපේ සමේ තුවාලයක් තිබුණොත්, ඒ ක්‍රීම් ගානකොට ඒ මයික්‍රෝ ප්ලාස්ටික් රුධිරයට එකතු වෙන්න පුළුවන්. මෙය ඉතාම භයානකයි. මොකද රුධිරයට මයික්‍රෝ ප්ලාස්ටික් ඇතුල් වුණාට පස්සේ ඒවා මොළය, අක්මාව, හෘදය වැනි හැම තැනටම ගමන් කරන්න පුළුවන්.

your image

මේකේ තියෙන භයානකම කතාව තමයි, මවකගේ ශරීරයට මයික්‍රෝ ප්ලාස්ටික් ඇතුල් වුණොත්, මව්කිරි හරහා නැවත දරුවාට ඒවා ලැබීම. ඒ නිසා මේ පිළිබඳව ඉතාම දැඩි අවධානයක් යොමු කරන්න ඕනේ.

මයික්‍රෝ ප්ලාස්ටික් නිසා අපේ ශරීරයට වෙනත් බලපෑම් මොනවාද?

මයික්‍රෝ ප්ලාස්ටික් නිසා අපේ DNA අණුව විකෘති වලට ලක් වෙන්න පුළුවන්. එය පිළිකා ඇති වීමට හේතුවක්. ඒ වගේම අපිට අහිතකර ජාන (genes) ක්‍රියාත්මක කරන්නත් මේ ප්ලාස්ටික් රුධිරයට ඇතුල් වීමෙන් සිදුවිය හැකියි. අපේ ශරීරයේ පිළිකා මර්දන ජාන (tumor suppressor genes) වර්ගයක් තිබෙනවා. මේවාත් ක්‍රියාත්මක වීම නතර වෙන්න පුළුවන්. මයික්‍රෝ ප්ලාස්ටික් මොළයේ තැන්පත් වීමේ අවදානමක් ද තිබෙනවා.

your image

තවත් මයික්‍රෝ ප්ලාස්ටික් ශරීරයට ඇතුල් විය හැකි ක්‍රම තිබෙනවාද?

ඔව්, අපිට මයික්‍රෝ ප්ලාස්ටික් ඇතුල් විය හැකි තවත් ක්‍රමයක් තමයි තේ බෑග් භාවිතය. සමහර තේ බෑග් නිෂ්පාදනය සඳහා මයික්‍රෝ ප්ලාස්ටික් යොදා ගන්නවා.

ඊළඟ ක්‍රමය තමයි නයිලෝන් ඇඳුම්. නයිලෝන් ඇඳුම් සෝදන විට, සියුම් ලෙස මයික්‍රෝ ෆයිබර්ස් (Microfibers) ජලයට එකතු වෙනවා. මේ ආකාරයට මයික්‍රෝ ප්ලාස්ටික් අපේ ශරීරයට ඇතුල්වීම ඉතාම සුලභව දැකගත හැකියි. මේ නිසා අපි මේ පිළිබඳ දැඩි අවධානයක් යොමු කරන්න ඕනේ.

වෛද්‍යතුමනි, මේ පිළිබඳව ජනතාවට දිය හැකි පණිවිඩය කුමක්ද?

ප්ලාස්ටික් අපේ එදිනෙදා ජීවිතයේ කොටසක් බවට පත්වෙලා තිබුණත්, එහි අහිතකර බලපෑම් ඉතාමත්ම භයානකයි. විශේෂයෙන්ම ප්ලාස්ටික් පුළුස්සන එක, ප්ලාස්ටික් බෝතල් වල වතුර බීම, සහ මයික්‍රෝ ප්ලාස්ටික් අඩංගු නිෂ්පාදන භාවිතය හැකිතාක් දුරට අවම කරන්න. මේවා අපේ සෞඛ්‍යයට, විශේෂයෙන්ම අපේ අනාගත පරම්පරාවට විශාල තර්ජනයක්. ඒ නිසා මේ පිළිබඳව දැඩි අවධානයක් යොමු කරලා, ප්ලාස්ටික් භාවිතය අවම කිරීමට අප සැම ක්‍රියා කළ යුතුයි.

අවසාන වශයෙන්, වෛද්‍ය සජිත් එදිරිසිංහ මහතාට බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා මේ වටිනා තොරතුරු Ziradaily අප සමඟ බෙදාගැනීම පිළිබඳව.


✍️ නයනාංජලී හේවගේ

50%
50%
0%
0%
Comments