මුලින්ම නිම්මි, Ziradaily අපෙන් ඔබට සුබ පැතුම්! 'නැගී එන ටෙලි නාට්‍ය නිළිය' විදියට සම්මානයක් දිනා ගැනීම ගැන මොකද හිතෙන්නේ?
සුභ පැතුම් වලට බොහොම ස්තූතියි. ඉතින් බොහෝ සුභ පැතුම් හම්බවෙනවා, ඒ හැමදේටම ස්තූතියි කියන්න මම මේක අවස්ථාවක් කරගන්නවා. සම්මානය දිනා ගැනීම ගැන නිහතමානී සතුටක් තියෙනවා.

'වියළි' ටෙලිනාට්‍යයේ 'නයෝමි' කියන චරිතය ඔයාට ලැබුණේ කොහොමද?
මට නයෝමිගෙ චරිතය හම්බවෙන්නේ 'නාඩගම්කාරයෝ' ටෙලිනාට්‍යයට ඇවිත් මාස තුනක් වගේ කෙටි කාලයක් ඇතුළතයි. 'වියළි' ටෙලිනාට්‍යට ආරාධනාව හම්බවෙන්නේ චන්දන ඉරුගල්බණ්ඩාර අයියාගෙන්.
නයෝමිගේ චරිතය රඟපානකොට ඔයාට අභියෝග වුණු තැන් තිබුණද?
නයෝමිගේ චරිතය රඟපාන්න තිබ්බ ලොකුම අභියෝගය තමයි නයෝමි කියන චරිතය ගොඩනඟා ගැනීම, නයෝමිව පවත්වාගෙන යාම කියන එක. ඉතින් ඒකට මට 'වියළි' කණ්ඩායමේ සියලුම දෙනාගේ, අධ්‍යක්ෂකතුමන් සහ තිර පිටපත් රචක මහත්මයාගේ සිට කැමරා ශිල්පියාගේ සිට මගෙත් එක්ක රංගනයෙන් දායක වුණු සියලුම ප්‍රවීණ රංගන ශිල්පී ශිල්පිනියන්ගේ සහයෝගය හම්බවුණා. ඒ හැම කාරණාවක් එක්කම තමයි නයෝමි කියන චරිතය ගොඩනඟා ගත්තේ. ඇත්තටම නයෝමි කියන චරිතයම නිම්මි මනෝහරිට ලොකු අභියෝගයක් වුණා.

මේ සම්මානය ඔයාගේ රංගන ජීවිතයට කොයි වගේ බලපෑමක් කරයි කියලා හිතනවාද?
අපි පුද්ගලික ජීවිතයේදී කැමතියි අපිව කවුරුත් අගයනවාට. ඉතින් මගේ වෘත්තීමය ජීවිතය තුළ මට මේ වගේ ඇගයීමක් හම්බවුණේ. ඒක මට ලොකු ආශිර්වාදයක් කියලා මම හිතනවා. ඉතින් ඒ ආශිර්වාදයත් එක්ක ඉදිරි වැඩකටයුතු වලට සාධාරණයක් ඉෂ්ට කරන්න මගේ හැකි උපරිමයෙන්ම කැපවෙන්න මම බලාපොරොත්තු වෙනවා. ඒක තමයි මම හිතන්නේ මට රංගනය වෙනුවෙන් දෙන්න පුළුවන් ලොකුම දේ.

මේ දවස්වල කරන අලුත් වැඩ කටයුතු ගැන ටිකක් කියන්න පුළුවන්ද?
අලුත් වැඩ කටයුතු කියන්නේ මේ දවස්වල ටෙලිනාට්‍ය තුනක් විකාශනය වෙනවා. ස්වර්ණවාහිනියේ සතියේ දවස් පහේ 'පිරිමි ළමයි' ටෙලිනාට්‍යය, ස්වර්ණවාහිනියෙම සති අන්තයේ 'රට පවුල' ටෙලිනාට්‍යය සහ ජාතික රූපවාහිනියේ සතියේ දවස් පහේම 'ඉර හැංගිලා' ටෙලිනාට්‍යය විකාශය වෙනවා. ඊට අමතරව අලුත් වැඩ කටයුත්තක් ආරම්භ කළා, රූගත කිරීම් කළා. ඉතින් ඒවා ඉදිරියේදී විකාශනය වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. තව කරපු ටෙලිනාට්‍ය කිහිපයක් එන්න තියෙනවා. ඉතින් ඒවත් ඉදිරියේදී එයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා.
ඔයා වැඩියෙන්ම ආස මොන වගේ චරිත රඟපාන්නද?
වැඩියෙන්ම ආස මොන වගේ චරිතයක්ද කියන එකට වඩා මම හිතනවා රංගන ශිල්පියෙක් හරි ශිල්පිනියක් හරි වුණාම එන ඕනෑම චරිතයක් කිරීමේ හැකියාව තිබිය යුතුයි කියලා. ඉතින් තම තමන්ගේ සීමා මායිම් අනුව ඒක තෝර බේරගෙන කිරීම තමන් සතු කාර්යයක්. මටත් තියෙන්නේ විවිධ චරිත රඟපෑමේ ආසාවක්, රංගනයේ ඒ ඒ විවිධ චරිත වලට රංගනයෙන් දායක වෙන්න තියෙන කැමැත්තක්. හැබැයි ඒක එකකට සීමා කරන්නේ නැතුව මම කැමතියි විවිධ වර්ගයේ චරිත නිරූපණය කරන්න.

ඉදිරියේදී මොන වගේ චරිතවලින්ද අපිව මුණගැහෙන්නේ?
ඉදිරියේදී අර කිව්වා වගේ ඉතින් විවිධ චරිත වලින් හම්බවෙයි. අලුතෙන් නිර්මාණයක් හමුවුණොත් ඒ නිර්මාණයට මට උපරිම සාධාරණය කරන්න පුළුවන් නම් මම ඒ නිර්මාණවලට සහභාගි වේවි. ඉතින් කරපු වැඩ තියෙනවා, ඒවා ඉදිරියට විකාශනය වෙන්න තමයි තියෙන්නේ. ඒ හැම එකක්ම එකිනෙකට වෙනස් චරිත.
පෞද්ගලික ජීවිතයේදී ඔයාට ශක්තියක් වන පිරිසක් ඉන්නවද?
ඔව්, මගේ වෘත්තීමය ජීවිතයටත්, මගේ පුද්ගලික ජීවිතයටත් හයියක් වෙන පිරිසක් ඉන්නවා. ඒ කියන්නේ මගේ පවුලේ අය - මගේ අම්මා, තාත්තා, මල්ලි සහ මට නිතර ආශිර්වාද කරනවා. පාසලේ ගුරුභවතුන් අදටත් කතාබහ කරනවා, මාව දිරිමත් කරනවා.
ඒ වගේම මගේ ප්‍රේක්ෂක ප්‍රේක්ෂිකාවන්, මට ආදරේ කරන අය දක්වන අදහස්, මට දක්වන ආශිර්වාදය ඉතින් මගේ ජීවිතයට ලොකු ශක්තියක්. ඒ ශක්තියත්, ඒ ආශිර්වාදයත් එක්ක තමයි මම ජීවත් වෙන්නේ.
ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට අලුතින් එන අයට දෙන්න තියෙන උපදෙස මොකක්ද?
මම ක්ෂේත්‍රයට අලුත් කෙනෙක්. ඉතින් මට කියන්න තියෙන්නේ, මම එහෙම ලොකුවට උපදෙස් දෙන්න තරම් අත්දැකීම් බහුල රංගන ශිල්පිනියක් නෙවෙයි. මමත් තාම නවකයෙක්, අතිශය නවකයෙක්.
මම මගේ පුද්ගලික ජීවිතයෙන් ඉගෙන ගත්ත දෙයක් තමයි, අපි නීතිඥවරයෙක්, වෛද්‍යවරයෙක් ඉංජිනේරුවරයෙක්, නැත්නම් ටීචර් කෙනෙක්, මැනේජර් කෙනෙක් වෙන්න මොකක්ම හරි වෘත්තීමය නිපුණත්වයක් අරගෙන ඉදිරියට යන්න ඒ කාර්යය තුළ අපි ඉගෙන ගන්නවා වගේම, රංගනයට එනවා නම් ඒ රංගනය කියන එකත් හැදෑරීමකින් යුක්ත වෙන්න ඕනේ. නැත්නම් මේකට ඇවිල්ලා හරි කමක් නැහැ. හදාරන්න පුළුවන්නම් සහ අත්දැකීමෙන් අපිට දේවල් අපේ ජීවිත වලට ගන්න පුළුවන්.
සමාජයේ ඉන්න පිරිස ගැන අපි හොඳ අවධානයෙන් ඉන්න ඕනේ. උදාහරණයක් විදියට කිව්වොත් අපි යාචකයන් පස් දෙනෙක් දැක්කොත් ඒ යාචකයන් පස්දෙනා පස් විදිහක්. අපි ඩොක්ටර්ස්ලා පහක් ගත්තොත් ඒ ඩොක්ටර්ස්ලා පස් විදිහක්. ඉතින් ඒ ඒ පුද්ගලයාට අනන්‍ය වූ ලක්ෂණ තියෙනවා. නමුත් මම හිතනවා ඒ වගේ දේවල් අපි ගාව තියාගෙන, අපි දැනුමෙන් සන්නද්ධ වෙලා හිටියොත් අපේ චරිත ගොඩනගා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මට කියන්න තියෙන්නේ අර හැදෑරීමක් එක්ක තමයි අපි ඕනෑම රැකියාවකට යන්නේ. ඉතින් ඒ වගේම තමයි රංගනය කියන්නේ නිරන්තරයෙන්ම හැදෑරිය යුතු ක්ෂේත්‍රයක්.
ස්තූතිවන්ත විය යුතු පිරිසක් ඉන්නවාද?
මම 'නාඩගම්කාරයෝ' ටෙලිනාට්‍යයට එන්නේ රංගන ද සිල්වා සහ සුදේව හෙට්ටිආරච්චි කියන මහත්වරුන්ගේ නිර්දේශයත් එක්ක. ඉතින් ඔවුන් දෙපළ මාව 'නාඩගම්කාරයෝ' ටෙලිනාට්‍යයේ 'පොඩ්ඩි' චරිතයට අධ්‍යක්ෂකතුමන්ට, නිෂ්පාදකතුමාට, තිර පිටපත් රචකතුමාට හඳුන්වලා දෙනවා. ඒ තුන්දෙනාගේ එකඟත්වය මත තමයි මාව 'නාඩගම්කාරයෝ' ටෙලිනාට්‍යයට සම්බන්ධ කරගන්නේ. සද්ධා මංගල සූරියබණ්ඩාර මහත්මයා, ජයප්‍රකාශ් ශිව ගුරුනාදන් මහත්මයා, චාමර සමරවික්‍රම මහත්වරු සියලු දෙනාටම ස්තූතිවන්ත වෙනවා.
ඊට අමතරව 'වියළි' ටෙලිනාට්‍යයට මාව නිර්දේශ කරපු, මාව මේ නයෝමි චරිතයට හොඳයි කියලා ගත්තු අපේ අධ්‍යක්ෂකතුමන් වන චන්දන ඉරුගල්බණ්ඩාර අයියාට, පිටපත නවකතා පිටපතකට හැරවූ සමන්ත කුමාර අයියාටත්, අපේ නිෂ්පාදන කණ්ඩායමටත් මේ වෙලාවේ ස්තුතිය පුද කරන්න කැමතියි. ඒ වගේම මගේ පළවෙනි නාට්‍යයේ කැමරා අධ්‍යක්ෂක වන ප්‍රභාත් දර්ශන අයියාටත්, 'වියළි' ටෙලිනාට්‍යයේ කැමරා අධ්‍යක්ෂක වන චන්දන ජයසිංහ අයියාටත් මේ වෙලාවේ ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම මෙතෙක් මට නිර්මාණවලට ආරාධනා කරපු සියලුම නිර්මාණකරුවන්ට, මට මෙතෙක් මගේත් එක්ක රංගනයෙන් දායක වුණු සියලුම ප්‍රවීණ ශිල්පී ශිල්පිනියන්ට වගේම ආධුනික ශිල්පීන්ට, සම වයසේ ශිල්පීන්ට බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා මට දුන්නු ශක්තියට. ඒ වගේම මගේ අම්මා, තාත්තා, පවුලේ සියලු දෙනාම, මගේ පාසල් ගුරුවරු සහ මගේ ආදරණීය ප්‍රේක්ෂක ප්‍රේක්ෂිකාවන්ට බෙහෙවින්ම ස්තුතියි මේ පොඩි කාලය තුළ මාව අල්ලගෙන, දරාගෙන හිටියට. මොකද මම කියන කෙනා ලොකු නිර්මාණවල හිටපු කෙනෙක් නෙවෙයි, සීමිත කොටස්, මේ සීමිත නාට්‍ය ප්‍රමාණයක තමයි ඉඳලා තියෙන්නේ මේ අවුරුදු හතර පුරාවටම. ඒ මට දෙන ආදරේට, මට දෙන අදහස් උදහස් වලට බෙහෙවින්ම ස්තුතියි.
ඉතින් නිම්මි මනෝහාරිගේ ඉදිරි කලා කටයුතුවලට Ziradaily අපෙන් උණුසුම් සුබ පැතුම්!
✍️ නයනාංජලී හේවගේ