ලෝක ප්‍රකට හාවඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂණවලට අනුව දරුවෙකුගේ ජීවිතය සාර්ථක කරවීමට නම් ඔවුන් සතු විය යුතු ප්‍රධාන පාලන කුසලතා 5ක් හඳුනාගෙන තිබෙනවා. දරුවෙකුගේ වයස අවුරුදු 13 සිට 26 දක්වා කාලය මේ කුසලතා වර්ධනය කිරීමට ලැබෙන වටිනාම අවස්ථාවක් වන අතර, මවුපියන් විදිහට මේ වෙනුවෙන් අපට කළ හැකි දේ බොහෝමයි.
සැලසුම්කරණය දරුවාටම බාර දෙන්න
පුංචි කාලේ දරුවන්ගේ හැම වැඩක්ම සැලසුම් කළේ මවුපියන් වුණත්, දරුවා යොවුන් වියට පත් වෙද්දී තමන්ගේ වැඩ තනිවම සැලසුම් කරගන්න ඔවුන්ට ඉඩ දිය යුතුමයි. පාඩම් වැඩ, නින්ද සහ ව්‍යායාම වැනි මූලික කරුණු ගැන සරල රීති කිහිපයක් පනවා, ඒවා නියමිත පරිදි කළමනාකරණය කරගන්නා ආකාරය දරුවාටම තීරණය කරන්න ඉඩ හැරීම මෙහිදී වැදගත් වෙනවා. එමෙන්ම පවුලේ නිවාඩු සංචාරයක් හෝ නිවසේ වැඩක් සැලසුම් කරද්දී දරුවාගේ අදහස් විමසීම මඟින් ඔවුන්ගේ සැලසුම් කිරීමේ හැකියාව සහ වගකීමක් දැරීමේ ගුණය බෙහෙවින් වර්ධනය වන බව පෙනෙන්නට තිබෙනවා.
අවධානය රඳවා ගැනීමට මඟ පෙන්වන්න
වර්තමානයේ ස්මාර්ට් ෆෝන් සහ සමාජ මාධ්‍ය නිසා දරුවන්ගේ අවධානය එක තැනක තබා ගැනීම ලොකු අභියෝගයක් වී තිබෙනවා. මේ තත්ත්වයෙන් දරුවන් මුදවා ගැනීමට නම් සමාජ මාධ්‍ය මඟින් එදිනෙදා ජීවිතයට සිදුවන බාධා ගැන ඔවුන් සමඟ විවෘතව කතාබහ කළ යුතුමයි. ආහාර ගන්නා අවස්ථාවලදී සහ පවුලේ අය එකට එකතු වන වෙලාවන්හිදී දුරකථන භාවිතයෙන් වැළකී සිටීම වගේම ඉවුම් පිහුම්, ගෙවතු වගාව හෝ චිත්‍ර ඇඳීම වැනි බාහිර ක්‍රියාකාරකම් සඳහා දරුවා උනන්දු කරවීම මඟින් ඔවුන්ගේ අවධානය එක අරමුණක රඳවා ගැනීමේ හැකියාව පුදුමාකාර ලෙස දියුණු කරගත හැකි වෙනවා.
ආවේග පාලනය කරගන්නා හැටි කියා දෙන්න
තරුණ වයසේදී ඇතිවන දැඩි හැඟීම් සහ ආතති සහගත අවස්ථා පාලනය කරගැනීමට දරුවන්ට කියා දීම ඉතාම වැදගත් කරුණක් වෙනවා. එහිදී මවුපියන් විදිහට අප කේන්තියට හෝ ප්‍රශ්නවලට මුහුණ දෙන ආකාරය දරුවන් නිරන්තරයෙන් නිරීක්ෂණය කරන බව අමතක නොකළ යුතුයි. දරුවාට දැඩි කේන්තියක් හෝ දුකක් දැනෙන වෙලාවක ගැඹුරු හුස්මක් ගැනීම හෝ එම ස්ථානයෙන් මඳකට ඉවත් වීම වැනි සරල උපක්‍රම පුරුදු කළ හැකි අතර, ප්‍රශ්නයක් සමනය වූ පසු ඒ පිළිබඳව දරුවා සමඟ සන්සුන්ව සාකච්ඡා කර ඊළඟ වතාවේ මීට වඩා හොඳින් මුහුණ දෙන්නේ කෙසේදැයි කියා දීම වඩාත් ප්‍රතිඵලදායක වෙනවා.
අවට ලෝකය ගැන අවබෝධයක් ලබා දෙන්න
යොවුන් වියේ පසුවන දරුවන් බොහෝ විට ජීවත් වන්නේ ඔවුන්ගේම ලෝකයක නිසා අවට සිටින මිනිසුන් සහ සමාජය ගැන ඔවුන්ට අවබෝධයක් ලබා දීම මවුපියන් සතු වගකීමක් වෙනවා. මේ වෙනුවෙන් රටේ සහ ලෝකයේ සිදුවන නැවුම් පුවත් සහ සිදුවීම් පිළිබඳව නිවසේදී කතාබහ කිරීම වගේම, විවිධ මිනිසුන් ඒ දෙස බලන ආකාරය දරුවාට පැහැදිලි කර දිය හැකියි. එමෙන්ම පවුලේ සැවොම එකතු වී ප්‍රජා සත්කාරක වැඩසටහන්වලට සම්බන්ධ වීම මඟින් අන් අයට උදව් කිරීමේ වටිනාකම සහ තමන්ගෙන් සමාජයට විය යුතු මෙහෙවර පිළිබඳව දරුවා තුළ මනා වැටහීමක් ඇති වන බව පෙනෙන්නට තිබෙනවා.
නම්‍යශීලී වීමට සහ වැරදීම්වලින් ඉගෙනීමට ඉඩ හරින්න
ජීවිතය කියන්නේ හැමදාම එකම විදිහට ගලාගෙන යන දෙයක් නෙමෙයි, ඒ නිසා ඕනෑම වෙනස් වීමකට ඔරොත්තු දීමේ හැකියාව දරුවෙකුට තිබිය යුතුමයි. දරුවාගේ දෛනික කාලසටහන ඕනෑවට වඩා තද එකක් නොකර, හදිසි අවස්ථාවකදී වැඩකටයුතු වෙනස් කරගැනීමට ඔවුන්ට නම්‍යශීලී බව පුරුදු කළ යුතු වෙනවා. දරුවෙකු කරන සමහර වැඩ වැරදෙන්නට හෝ ඔවුන් ඉන් අසාර්ථක වන්නට පුළුවන් වුවත්, එවැනි සෑම අවස්ථාවකදීම මවුපියන් වහාම මැදිහත් වී ප්‍රශ්නය විසඳනවා වෙනුවට, වැරදීම්වලින් පාඩම් ඉගෙන ගෙන තනිවම නැඟී සිටීමට දරුවාට අවස්ථාව දීම ඔවුන්ගේ අනාගත සාර්ථකත්වයට තබන ලොකුම පියවරක් වෙනවා.