බහරේන් රාජ්‍යයේ ප්‍රමුඛතම සුපිරි වෙළෙඳසල් ජාලයන් වන ලුලු හයිපර්මාර්කට් (Lulu Hypermarket) සහ අල් ජසීරා (Al Jazira) ආයතන සංවිධානය කළ ප්‍රදර්ශනවලදී තමයි අපේ අඹවලට මෙලෙස විශේෂ තැනක් ලැබිලා තිබුණේ. මුලින්ම ලුලු හයිපර්මාර්කට් මඟින් ‘Mango Mania’ නමින් සංවිධානය කළ උත්සවයෙන් මේ අඹ වසන්තය ආරම්භ වුණා. ඉන්පසුව පැවැත්වුණු ‘The Great Mango Football Fiesta’ උලෙළේදී ඉන්දියාව, තායිලන්තය, මැලේසියාව, ඉන්දුනීසියාව සහ පිලිපීනය වැනි ලෝකයේ ප්‍රමුඛ රටවල අඹ වර්ග රැසක් මැද, ශ්‍රී ලාංකේය අඹ විශේෂ අවධානයක් දිනා ගැනීමට සමත් වීම කැපී පෙනෙන සිදුවීමක්.
මේ උත්සවයේ තිබුණු ආකර්ෂණීයම අංගය වුණේ ශ්‍රී ලාංකේය අඹ උපයෝගී කරගනිමින් සජීවීව පිළියෙල කෙරුණු සූපශාස්ත්‍ර ප්‍රදර්ශනයයි. නැවුම් අඹවලින් හැඩවුණු රසවත් කෑම බීම වගේම, අපේ රටේ අනන්‍යතාවය ලොවට රැගෙන යන ‘Ceylon Tea' වෙනුවෙනුත් මෙහි විශේෂ කුටි වෙන් කර තිබුණා.
බහරේනයේ ශ්‍රී ලංකා තානාපතිනි ශානිකා දිසානායක මහත්මියගේ උපදෙස් මත ක්‍රියාත්මක වන ආර්ථික රාජ්‍යතාන්ත්‍රික වැඩපිළිවෙළක ප්‍රතිඵලයක් විදිහටයි මේ ප්‍රදර්ශන සංවිධානය කර තිබුණේ. මෙහි ප්‍රධාන අරමුණ වෙන්නේ ශ්‍රී ලංකාවේ නැවුම් අඹ ඇතුළු පළතුරු වර්ග බහරේන් වෙළෙඳපොළට හඳුන්වා දෙමින් එරට ප්‍රධාන සිල්ලර වෙළෙන්දන් දිරිමත් කිරීමයි. අපේ දේශීය රසයන් මෙලෙස ජාත්‍යන්තරය ජයගැනීම ඇත්තෙන්ම සතුටට කරුණක්.