මව්වරුන්ගේ දිනය ඉතිහාසය ඈත අතීතයේ ග්‍රීක සහ රෝම ශිෂ්ටාචාර දක්වා දිව යන්නකි. එකල මව්වරුන් නිරූපණය කළ රියා සහ සයිබෙල් වැනි දේවතාවියන්ට වන්දනාමාන කරමින් ඔවුන්ට උපහාර පිදීමට මිනිසුන් පෙළඹී සිටියා. කාලයත් සමඟ මෙම ආගමික වතාවත් සංස්කෘතික සැමරුම් බවට පරිවර්තනය වෙමින් ලොව පුරා ව්‍යාප්ත වුණා.
දහහත්වන සියවසේ එංගලන්තයේදී මව්වරුන්ගේ දිනයට සුවිශේෂී අර්ථයක් එක් වූණා. එකල නිවෙස්වල සේවය කළ සේවක සේවිකාවන්ට වසරකට එක් දිනක් තම මව්වරුන් බැහැදැකීම සඳහා විශේෂ නිවාඩුවක් හිමි වෙනවා. මෙය ඔවුන්ට තම පවුලේ අය සමඟ යළි එක්වීමටත්, මවගේ ආදරය විඳීමටත් ලැබුණු මහඟු අවස්ථාවක් වූ අතර, එය වර්තමාන සැමරුම් වලට මූලික අඩිතාලමක් දැමූ බව පැවසේ.
මව්වරුන්ගේ දිනයේ සැබෑ නිර්මාණකාරිය ලෙස සැලකෙන්නේ ඇමරිකානු ජාතික ඇනා මරියා ජාවිස් ය. 1858 වකවානුවේ ඇය වැඩ කරන මව්වරුන්ගේ අයිතිවාසිකම් සහ ඔවුන්ගේ සුබසාධනය වෙනුවෙන් විශාල මෙහෙවරක් ඉටු කළා. ඇයගේ මෙම කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස 1914 වසරේදී එවකට ඇමරිකානු ජනාධිපති වුඩ්‍රෝ විල්සන් විසින් මැයි මස දෙවන ඉරිදා දිනය නිල වශයෙන් "මව්වරුන්ගේ දිනය" ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබුවා
වර්තමානය වන විට තාක්ෂණය සහ වාණිජ්‍යය සමඟ මව්වරුන්ගේ දිනය සැමරීමේ ක්‍රමවේද වෙනස් වී තිබුණද, එහි පදනම වන්නේ ආදරයයි.